පොම්පියෝගේ කාර්යය මණ්ඩලයේ පිරිසක් මෙරටට

මයික් පොම්පියෝගේ කාර්යය මණ්ඩල සාමාජිකයින් පිරිසක් මෙරටට

by Staff writer 24-10-2020 | 6:13 AM

COLOMBO (News 1st) – අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා ඔහුගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් කණ්ඩායමක් ඊයේ(23) මෙරටට පැමිණ තිබේ.

අමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ , මෙම සංචාරයේ සියලු කටයුතු ශ්‍රී ලංකා රජය සමග සමීප සම්බන්ධීකරණයකින් සංවිධානය කර ඇති බවයි. කවුරුන් සමග එක්ව ඉදිරියට ගමන් කරන්නේදැයි තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව පෙළඹවීමට උත්සාහ කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ඩීන් තොම්සන් මහතා විදෙස් වාර්තාකරුවන් සමග පවසා තිබේ. ඔහු කියා සිටියේ, ආර්ථික සබඳතාවලදී අත්වැල් බැදගන්නේ කවුරුන් සමගදැයි තීරණය කිරීම අපහසු නමුත් ශ්‍රී ලංකාව අත්‍යාවශ්‍යයෙන්ම තෝරා ගැනීමක් කළ යුතු බවයි. වෙනත් පාර්ශව ඉදිරිපත් කරන කරුණුවලට හාත්පසින් වෙනස්ව තමන් ඉදිරිපත් කරන විනිවිදභාවයකින් හා තිරසර ආර්ථික සංවර්ධනයකින් යුත් විකල්ප සලකා බලන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව ඩීන් තොම්සන් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.