ත්‍රීකුණාමලය තොග මාළු වෙළෙඳපොළ වැසේ

ප්‍රදේශ රැසක PCR පරීක්ෂණ: ත්‍රීකුණාමලය තොග මාළු වෙළෙඳපොළ තාවකාලිකව වැසේ

by Staff writer 24-10-2020 | 6:40 PM

COLOMBO (News 1st) - ඉකුත් දින කිහිපයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගේ වැඩිදෙනා වාර්තා වී තිබුණේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලිනි.

පෑලියගොඩ මාළු වෙළඳපොළේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස සැලකෙන පිරිසකගේ PCR පරීක්ෂණ අද තොටළඟ, මුවදොර උයන නිවාස සංකීර්ණයේදී සිදුකෙරිණි. නුගේගොඩ ජනතා පොළ අද පෙරවරුවේ නැවත දැනුම් දෙනතුරු වසා දැමුණේ පෑලියගොඩ මාළු වෙළෙඳපොළෙන් මාළු මිලදී ගෙන වෙළදාම් කළ, වෙළෙඳුන් දෙදෙනෙකුට කොරෝනා ආසාදිත බව අද තහවුරුවීමත් සමගයි.‍ පෑලියගොඩ මාළු වෙළෙඳපොළෙන් මාළු මිලදී ගත් බව සැලකෙන පිරිසකගේ PCR පරීක්ෂණ අද සිදුකෙරුණේ ගම්පහ නගර සභා ක්‍රීඩාංගනයේදීය. ගම්පහ නගර සභාව සඳහන් කළේ, ඒ අනුව අද දිනයේ 200 දෙනෙකුගේ PCR පරීක්ෂණ මෙලෙස සිදුකළ බවයි. ඊයේ දිනයේ ද 150 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකළ බව ගම්පහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සඳහන් කළේය. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වනවිට පවතින තත්ත්වය පිළිබඳ සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අද ගම්පහ දිස්ත්‍රික් ලේක්ම් කාර්යාලයේදී පැවැත්වුණි. ඒ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙනි. ත්‍රීකුණාමලය තොග මාළු වෙළෙඳපොළේ වෙළෙඳුන් ඇතුළු 06 දෙනෙකුට කොරෝනා ආසාදිත බව අද තහවුරු විය. ඒ හේතුවෙන් ත්‍රීකුණාමලය තොග මාළු වෙළෙඳපොළ තාවකාලිකව වසා දැමුණු බව අප වාර්තාකරු පැවසුවේය. මේ අතර ත්‍රීකුණාමලය චැනල් පටුමග, සුමේධගම, අභයපුර , පහේ කණුව, ගල්මැටියාව සහ පුල්මුඩේ යන ප්‍රදේශවලට සංචරණ සීමා ද පනවා තිබේ. අප වාර්තාකරු පැවසුවේ ත්‍රීකුණාමලය, කොඩ්බේ ධීවර වරායට ඇතුළු වීම හා පිටවීම සීමා කර ඇති බවය.