ජන හද දිනූ මිනිසා ගාමිණි දිසානායක..

ගාමිණි දිසානායක මහතාගේ 26වැනි ගුණ සමරුව අදයි..

by Staff writer 24-10-2020 | 6:23 PM

COLOMBO (News1st) - ශ්‍රී ලංකාවේ කීර්තිමත් දේශපාලනඥයෙකු වූ ගාමිණි දිසානායක මහතා අභාවප්‍රාප්ත වී අදට වසර 26 ක් සපිරේ.

ඒ වෙනුවෙන් වූ ගුණ සමරු උත්සවයක් අද කොළඹ එතුමාගේ පිළිරුව අසලදී පැවැත්විය. දිවංගත ගාමිණි දිසානායක මහතාගේ පිළිරුවට පුෂ්ප උපහාර පුද කිරීම සඳහා හිටපු කතානායක කරූ ජයසූරිය, නවීන් දිසානායක, මයන්ත දිසානයක ඇතුළු පවුලේ සාමාජිකයින් පිරිසක් එක්ව සිටියහ. 1942 වසරේ මාර්තු මස 20 වැනිදා, ව්‍යාපාරික ඇන්ඩෲ දිසානායක මහතාට සහ සමරතුංග වෙලගෙදර කුමාරිහාමිනේට දාව, දිසානායක මුදියන්සේ රාළහාමිලාගේ ලයනල් ගාමිණි දිසානායක මහතා උපත ලැබුවේ එම පවුලේ දෙවැන්නා ලෙසය. ගාමිණී දිසානායක මහතා මූලික අධ්‍යාපනය ලැබුවේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙනි. ඉන් පසුව ඔහු කොළඹ නීති විද්‍යාලයට ඇතුළත්ව උපාධිය හදාරා , 1988 වර්ෂයෙදී ජනාධිපති නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය. 28 හැවිරිදි තරුණ නීතීඥයෙකු ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් නුවරඑළිය ආසනය ජය ගත් ගාමිණී දිසානායක මහතා , 1970 දී පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසියේය. 1977 දී විදුලිබල, වාරිමාර්ග හා මහාමාර්ග අමාත්‍ය ධූරයට පත් ඔහු කඩිනම් මහවැලි ව්‍යාපෘතිය ආරම්භ කළේ, මෙරට ඉතිහාසයේ තවත් පරිච්ජේදයක් සනිටුහන් කරමිනි. ඔහුගේ නායකත්වයෙන් නිර්මාණය වූ කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ,මාදුරුඔය, උල්හිටිය ජලාශවලට අමතරව වන්නි ප්‍රදේශයේ ඉගිණිමිටිය ජලාශයත්, දකුණේ ලුණුගම්වෙහෙර ජලාශයත් ඉලක්කගත කාලයට පෙර ඉදි කෙරුණි. සියලු දෙනාට ස්ථීර ඉඩම් හිමිකමක් ලබා දීම සඳහා ආරම්භ කෙරුණු ස්වර්ණ භූමි ව්‍යාපාරය ගාමිණි දිසානායක මහතාගේ සංකල්පයකි. දෙවරක්ම මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධූරයට පත් ඔහු 1982 වසරේ ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් දිනා ගැනීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේය. ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස දිසානායක මහතාගේ පාලන කාලය තුළ මේට්ලන්ඩ් පෙදෙස පුහුණු පාසලත්, කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පරිශ්‍රය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල මූලස්ථානයත් පිහිටුවීමට පියවර ගැනිණි. මහනුවර අස්ගිරිය ක්‍රිඩාංගණය අන්තර් ජාතික ටෙස්ට් ක්‍රීඩාංගණයක් බවට පත් කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේ ද ගාමිණී දිසානායක මහතායි. පසුකාලීනව ඔහු සිය දේශපාලන මතය අනුව විධායක ජනාධිපති ධුරය ඉවත් කළ යුතු බව පවසමින් අරගලයක නිරත වූ ගාමිණී දිසානායක මහතා, 1994 වසරේ ඔක්තෝම්බර් 24 වැනිදා තොටළඟ පැවති රැස්වීමකදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක් වුයේ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස කටයුතු කරමින් සිටියදීය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 52 කි. වජිරා ශ්‍රීමතී දිසානායක මහත්මියගේ දයාබර සැමියා වූ ගාමිණී දිසානායක මහතා නවීන්, මයන්ත, සහ වරුනි දූ පුතුන්ට සෙනෙහෙබර පියෙකු විය. නොසිතූ මොහොතක හදිසියේ දිවියෙන් සමුගෙන ගිය ද විශිෂ්ට දැක්මක් සහිත පිරිපුන් නායකත්ව ගුණාංග ප්‍රකට කළ ගාමිණී දිසානායක මහතා පිළිබඳ මතකය ශ්‍රී ලංකාවාසීන්ගේ හදවත්වල සදා ජීවමානයි..