අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් 86 ලක්ෂය ඉක්මවයි

රට විවෘත කිරීමට සුදුසුම කාලය එළඹ ඇතැයි, ජනපති ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

by Staff writer 23-10-2020 | 2:44 PM
COLOMBO (News 1st) : කොරෝනා මරණවලින් පිරි අඳුරු සීත සෘතුවෙන් රට මුදා ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවට ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් චෝදනා කරයි. ඒ, තින්සේ ප්‍රාන්තයේ නැෂ්විල්හිදී ජනාධිපතිවරණයේ අවසන් රූපවාහිනී විවාදයට එක්වෙමිනි. අදාළ මරණවලට වගකිව යුතු නායකයෙකු ජනපති ධුරයේ රැඳී සිටීමට සුදුස්සෙකු නොවන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ජෝ බයිඩන්ගේ ප්‍රකාශයත් සමඟ විවාදය උණුසුම් වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ද වාග් ප්‍රහාර එල්ල කිරීමත් සමඟයි. සති කිහිපයකින් කොරෝනා මර්දන එන්නත රෝහල්වලට ලබාදීමට සූදානම් බව, ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, අමෙරිකාව යළි විවෘත කිරීමට සුදුසුම කාලය උදා වී ඇති බවයි. ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් සිදුකළේ අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 86 ලක්ෂය ඉක්මවා ඇති පසුබිමකදීයී. එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව ද දෙලක්ෂ විසිඅට දහස ඉක්මවා ගියේ ය. කෙසේ වෙතත් ලබන නොවැම්බර් 3 වැනිදා අමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා තවත් ඉතිරිව ඇත්තේ දින 11 ක් පමණයි.