20 වැනි සංශෝධනය 2/3 ක බහුතරයෙන් සම්මතයි

20 වැනි සංශෝධනය 2/3 ක බහුතරයෙන් සම්මතයි

by Sagarika Chathumali 22-10-2020 | 9:45 PM
COLOMBO (News 1st) : 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3 බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය. සංශෝධනයට පක්ෂව ඡන්ද 156 ලැබුණු අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 65 ක් පමණි. උදෑසන සිට 20 වැනි සංශෝධනය දෙවැනි වර කියවීමේ විවාදය පැවති අතර පස්වරුවේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්විණ. එහිදි පනත් කෙටුම්පතට පක්ෂය ඡන්ද 156 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ, ඡන්ද 65 ක් පමණි. ඒ අනුව 2/3 බහුතරයකින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය දෙවැනි වර කියවීමේ සම්මත විය. සමගි ජන බලවේගය නියෝජනව කරමින් පාර්ලිමේන්තුවට තෙරී පත් වූ ඩයනා ගමගේ, ඉෂාක් රහුමාන්, ඒ. ඒ.එස්. එම්. රහීම්, එස්. එම්. තවුෆික්, ෆයිසාල් කාසීම්, ඒ. ඒ. එම්. හාරිස්, අරවින්ද කුමාර් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නසීර් අහමඩ් යන මන්ත්‍රීවරු කෙටුම් පතට පක්ෂව ඡන්දය භාවිත කළහ. ඉන් අනතුරුව උදා වූයේ, කාරක සභා අවස්ථාවයි. එහිදී ජනාධිපතිවරණයකට හෝ මහ මැතිවරණයකට තරග කිරීම සඳහා ද්විත්ව පුරවැසියන්ට ඉඩ කඩ සැලසෙන 17 වැනි වගන්තිය ඉවත් කළ යුතු බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ගෙනා ආ සංශෝධනය සඳහා ද ඡන්ද විමසීමක් පැවැත් විණ. ද්විත්ව පුරවැසියන්ට පාර්ලාමේන්තුවට පැමිණිමට හැකි බවට වන වගන්තියට සහය පලකරමින් ලැබුණු ඡන්ද සංඛ්‍යාව 157 කි. ඒ අවස්ථාවේදී කෙටුම්පත දෙවැනි වර කියවීමට විරුද්ධව ඡන්දය ලබා දුන් අකිල ඉලංගෙයි මක්කල් කොංග්‍රස් පක්සයේ මුෂාරෆ් මුතුනබීන් මහතා පක්ෂව ඡන්දය ලබා දුන්නේ ය. ඊට විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 64 කි. ඒ අනුව ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පැමිණිමට හැකි බවට වන වගන්තිය ද 2/3 බහුතරයකින් සම්මත විය. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වීමෙන් පසු හෙට (23) පෙරවරු 10 දක්වා පාර්ලිමේන්තුව කල් තැබිණ.