පාඨලීට අධිචෝදනා භාර දී ඇපමත මුදා හැරේ

පාඨලීට අධිචෝදනා භාර දී ඇපමත මුදා හැරේ

by Staff writer 21-10-2020 | 11:59 AM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේදී අද අධිචෝදනා භාරගෙන තිබේ.

ඒ, 2016 වසරේ පෙබරවාරි 28 වැනි දා රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු රිය අනතුරකට ලක් කර බරපතල තුවාල සිදු කිරීම, රිය අනතුර සම්බන්ධයෙන් පොලීසියට වාර්තා නොකිරීම ඇතුළු අධිචෝදනා 4 ක් යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබු නඩුවට අදාළවය. නඩුවේ සාක්ෂි විභාගය ලබන වසරේ මාර්තු 4 වැනි දා ආරම්භ කිරීමට දින නියම කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් හා රුපියල් දස දහසක මුදල් ඇප මත මුදා හැරීමට නියෝග කළේ ය. පැමිණිල්ලේ සාක්ෂිකරුවන් පස්දෙනෙකුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට ද විනිසුරුවරයා එහිදී වැඩිදුරටත් නියෝග කර තිබේ.