LPL සඳහා ක්‍රීඩාකයින් තොරා ගනී..

"ලංකා ප්‍රිමියර් ලීග්" තරගාවලියට ක්‍රීඩකයින් තෝරා ගනී..

by Staff writer 20-10-2020 | 3:44 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන "ලංකා ප්‍රිමියර් ලීග්" (LPL) ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු ඊයේ(19) සිදු කෙරිණි.

ඒ, අන්තර්ජාලය ඔස්සේදී ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයට අනුව ක්‍රීඩකයින් 93 දෙනෙකු තෝරා ගැනීමට කණ්ඩායම් කළමනාකාරීත්වය කටයුතු කර තිබේ. ඊයේ පැවති ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම පූර්ණ වශයෙන් සිය ක්‍රීඩකයින් තෝරාගනු ලැබුවේ ය. සෙසු කණ්ඩායම්වලට පුරප්පාඩු ක්‍රීඩකයින් තෝරා ගැනීම සඳහා නොවැම්බර් 01 වැනි දා ද අවස්ථාව හිමිව තිබේ. කලම්බෝ කිංග්ස් කණ්ඩායමට ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය ලබා දෙන අතර විදෙස් ක්‍රීඩකයින් ලෙස ඇන්ඩ්‍රේ රසල් සහ ෆෆ් ඩු ප්ලෙසිස් මෙන්ම ඉන්දීය ක්‍රීඩකයින් දෙපළක් ද ඇතුළත් ය. මෙවර අයි.පී.එල් තරගාවලිය නියෝජනය කරන ඉසුරු උදාන ද මෙම කණ්ඩායමට එක්වනු ඇති. කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ, ඔස්ට්‍රේලියානු ජාතික ඩේව් වට්මෝර් ය. දසුන් ශානක නායකත්වය ලබා දෙන දඹුල්ල හෝක්ස් කණ්ඩායමට දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඩේවිඩ් මිලර්, කොදෙව් ක්‍රීඩක කාලෝස් බ්‍රැත්වයිට් ඇතුළත්ව ඇති අතර පුහුණුකරු ලෙසින් කටයුතු කරන ජෝන් ලුවිස් වේ. ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ ලසිත් මාලිංගයි. එම කණ්ඩායමට ෂහිඩ් අෆ්රිඩි හා කොලින් ඉන්ගැහැම් එක් වනු ඇති. ඊට මොහොමඩ් ආමීර්ද, සෆ්‍රාස් අහමඩ් වැඩි ප්‍රබල ක්‍රීඩකයින් ඇතුළත් ය. තිසර පෙරේරා නායකත්වය ලබා දෙන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ඩේවිඩ් මාලන්, ෂොයෙබ් මලික්, උස්මාන් ශින්වාරි ඇතුළත්ව සිටී. නායක කුසල් ජනිත් පෙරේරා මෙහෙය වන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට ක්‍රිස් ගේල්, පාකිස්ථානයේ වහාබ් රියාස්, ලියම් ප්ලන්කට් ඇතුළත් අතර පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න මහතා කටයුතු කරනු ඇත. මෙම ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවට, ඒ, ඒ කණ්ඩායම්වල හිමිකාරීත්වය විසින් නම් කරන ලද පුහුණුකරුවන්, කළමනාකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් "ලංකා ප්‍රිමියර් ලීග්" තරගාවලි අධ්‍යක්ෂ රවීන් වික්‍රමරත්න සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක් ව සිටී.