කොරෝනා ආසාදිතයින් ගණන 5625 දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 5625 දක්වා ඉහළට

by Staff writer 20-10-2020 | 8:46 AM

COLOMBO (News 1st) – මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5625 දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ, වෛරසය ආසාදිතව රෝහල්ගතව සිටින පුද්ගලයින් සංඛ්‍යාව 2172 ක් බවයි. ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 37 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3440 කි. මේ අතර මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2162 දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මිනුවන්ගොඩ පොකුරෙන් ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 87 කි. නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රිතයින් හෝ කාර්යය මණ්ඩල සාමාජිකයින් 23 දෙනෙකු හා ඔවුන්ගේ ආශ්‍රිතයින් 64 කි. මේ අතර දිවයින පුරා පුද්ගලයින් 15000 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ, ඉන් වැඩිම සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් බවයි. මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ 1600 කට අධික පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බව ද ඔහු සඳහන් කළේ ය. මේ අතර කොළඹ නැව් තාටාකාංගනයේ තවත් සේවකයින් 9 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කොළඹ මහ නගර සභාව පවසයි. එහි වසංගත රෝග විද්‍යාඥ දිනූකා ගුරුගේ මහත්මිය සඳහන් කළේ මේ වනවිට කොළඹ නාගරික සිමාවේ පමණක් පුද්ගලයින් 18 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවයි. මේ අතර කොරෝනා අසාදිතයින් හමුවීම හේතුවෙන් හුදෙකලා කර ඇති මතුගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ඕවිටිගල,බදුගම හා බදුගම නව ජනපදය යන ග්‍රාම නිලධාරී වසම්වල පුද්ගලයින්ගේ PCR පරීක්ෂණ 250 ක ප්‍රතිඵල ලැබීමට ඇති බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂණ සමන් ගීගනගේ මහතා පැවසුවේ ය.