මධුෂ්ගේ දේහය බිරිඳට භාර දෙන්නැයි නියෝගයක්

මධුෂ්ගේ දේහය බිරිඳට භාර දෙන්නැයි අධිකරණයෙන් නියෝගයක්

by Staff writer 20-10-2020 | 5:09 PM

COLOMBO (News 1st) - වෙඩි ප්‍රහාරයකට ලක්ව අද අලුයම කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේදී මියගිය ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් 'මාකඳුරේ මධුෂ්' නැමැත්තාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා මහත්මිය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට එහිදී නියෝග කර තිබෙන්නේ, මධුෂ්ගේ දේහය ඔහුගේ නීත්‍යනුකූල බිරිඳට භාරදෙන ලෙසය. අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළේ, අද උදෑසන මාලිගාවත්ත, ඇපල්වත්ත ප්‍රදේශයේදී වෙඩි තැබීම සිදු වූ ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂාවක් කිරීමෙන් අනතුරුවය. ඔහුගේ නීත්‍යනුකූල බිරිඳ වන ජයනී මුතුමාලි නැමැත්තිය හා ඔහුගේ පුංචි අම්මා වන මල්ලිකා සමරසිංහ නැමැත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා කළ ඉල්ලීම සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.