කුලියාපිටියේ පොලිස් බල ප්‍රදේශ 05 කට ඇඳිරි නීතිය

කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල හා දුම්මලසූරියට නිරෝධායන ඇඳිරි නීතිය

by Staff writer 20-10-2020 | 2:48 PM

COLOMBO (News 1st) – කුලියාපිටිය කොට්ඨාසයේ පොලිස් වසම් 5 කට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඒ අනුව කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මලසුරිය පොලිස් බල ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බවයි. නිරෝධායන ඇඳිරි නීතිය එම ප්‍රදේශවල උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට බලපෑමක් නොවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 19 ක නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකය. කෙසේ වෙතත් අද දිනයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට සිය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ මිලදී ගැනීම සඳහා වෙළෙඳ සැල් හා ඖෂධ සැල් පෙරවරු 8.00 ට විවෘත කෙරුණු අතර රාත්‍රී 10.00 දක්වා ඒවා විවෘතව තැබෙන බව පොලීසිය සඳහන් කළේ ය. කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළයාම හමුවේ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕවිටිගල, බදුගම හා බදුගම නව ජනපදය යන ග්‍රාම නිලධාරීවසම් තවදුරටත් හුදකලා කර තිබේ. මේ අතර අද දිනයේ තව ත් කොරෝනා ආසාදිතයින් 60 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ය. ඉන් 35 දෙනෙක් කටුනායක ප්‍රදේශයේ කර්මාන්ත ශාලා 2 ක සේවකයින් ය. මේ වනවිට මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5685 දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා වැළදී රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 2215 කි. තව ත් ආසාදිතයින් 17 දෙනෙකු අද සුවය ලබා තිබේ. ඒ සමග මෙරට කොරෝනා සුවය ලැබු සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 3457 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පැවසීය. මේ අතර මතුගම, ඕවිටිගල ප්‍රදේශයේ තව ත් සිව්දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද තහවුරු විය. කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා සඳහන් කළේ, ඔවුන්ගේ ආශ්‍රිතයින් මේ වනවිට නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි. අද දිනයේත් කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, අගලවත්ත, ඕවිටිගල සහ බණ්ඩාරගම ප්‍රදේශවල පුද්ගලයින් 150 දෙනෙකු පමණ පී.සි.ආර් පරීක්ෂණ සඳහා යොමු කළ බව ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර පිළියන්දල ප්‍රදේශයේ මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් පස්දෙනෙකු සමග සබඳතා පැවැත්වු බව කියන ‍වෙළෙඳසැලක් වසා දමා එහි පිරිස නිරෝධයනයට යොමු කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ ය.