ඉන්දුනීසියාව අමෙ. ඔත්තු බලන යානා ප්‍රතික්ෂේප කරයි

ඉන්දුනීසියාව අමෙරිකානු ඔත්තු බැලීමේ යානා ප්‍රතික්ෂේප කරයි

by Staff writer 20-10-2020 | 4:20 PM

News 1st - සිය ඔත්තු බැලීමේ ගුවන් යානාවලට ඉන්දුනීසියාවට ඇතුළු වීම සඳහා අමෙරිකාව කළ ඉල්ලීම ඉන්දුනීසියාව ප්‍රතික්ෂේප කර තිබේ.

විදෙස් වාර්තා අනාවරණ කළේ, පී එයිට් වර්ගයේ සමුද්‍රීය අවේක්ෂණ ගුවන්යානාවලට ඉන්දුනීසියාවට ගොඩබැස්වීමටත් ඉන්ධන ලබාදෙන ලෙසටත් අමෙරිකාව අවස්ථා කිහිපයකදී ඉල්ලා ඇති බවය. ඒ, පසුගිය ජූලි සහ අගෝස්තු අතර කාලසීමාවේදීය. ඉන්දුනීසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ අමාත්‍යාංශය මෙන්ම ජනාධිපති කාර්යාලය ද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මෙම සිද්ධිය වාර්තා වන්නේ, ගිනිකොණදිග ආසියාවේ බලපෑම සම්බන්ධයෙන් අමෙරිකාව සහ චීනය අතර දැඩි තරගයක් පවතිමින් තිබියදීයි. ඉන්දුනීසියාව දීර්ඝ කාලයක සිට ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර විදේශීය හමුදාවන්ට සිය රට තුළ ක්‍රියාත්මකවීම සඳහා කෙදිනක හෝ අවසර ලබා දී නැත. දකුණු චීන මුහුදේ චීන ක්‍රියාකාරකම් නීරීක්ෂණය කිරීම සඳහා අමෙරිකානු පී එයිට් යානා දැඩි කාර්යභාරයක් ඉටු කරනු ලබයි.