Covid-19: ණය අයැදුම්පත් 61,907 ක් සඳහා මුදල්

කොරෝනා නිසා පීඩාවට පත් ව්‍යාපාර:ණය අයදුම්පත් 61,907ක් අනුමත කෙරේ

by Staff writer 19-10-2020 | 1:31 PM

COLOMBO (News 1st) : Covid-19 වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර විසින් එවන ලද ණය අයැදුම්පත් 61,907 ක් සඳහා රුපියල් බිලියන 178 ක් අනුමත කර ඇතැයි ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

ඒ, ප්‍රතිලාභීන් 45,582 ක් සඳහා ය. කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් ස්වයං රැකියා හා තනි පුද්ගල ව්‍යාපාර ද ඇතුළුව සියලු ව්‍යාපාර මෙම ණය යෝජනා ක්‍රමවල ප්‍රතිලාභීන් බව මහ බැංකුව පවසයි. මහ බැංකුව සඳහන් කළේ, පීඩාවට පත් ව්‍යාපාර විසින් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන මුලින් අපේක්ෂිත රුපියල් බිලියන 150 සීමාව පිළිබඳ නොසලකා අයැඳුම්පත් භාර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කළ බවයි. ඒ අනුව පීඩාවට පත් වූ ව්‍යාපාර විසින් ඉදිරිපත් කරනු ලැබු සියලුම අයැදුම්පත් සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සහන සැලසෙනු ඇති. ණය යෝජනා ක්‍රමයේ පළමු අදියර 2020 අප්‍රේල මස 01වැනි දින ක්‍රියාත්මක කෙරුණු අතර දෙවන හා තුන්වන අදියර දෙකම 2020 ජුලි මස 01 වැනි සිට බලාත්මක වන පරිදි හඳුන්වා දී ඇති බව මහ බැංකුව පවසයි. එහි වාර්ෂික පොලී අනුපාතය 4 % කි.