'විකාරි' ස්ක්‍රීම්ෆෙස්ට් චිත්‍රපට උළෙලේදී සම්මානයට

'විකාරි' 2020 ස්ක්‍රීම්ෆෙස්ට් චිත්‍රපට උළෙලේ හොඳම කෙටි චිත්‍රපටය ලෙස සම්මාන දිනා ගනී

by Staff writer 18-10-2020 | 7:37 PM

COLOMBO (News 1st) - සඳුන් සෙනෙවිරත්න මහතා විසින් නිෂ්පාදය කළ 'විකාරි' කෙටි චිත්‍රපටය 2020 ස්ක්‍රීම්ෆෙස්ට් ත්‍රාසජනක චිත්‍රපට උළෙලේ හොඳම කෙටි චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර විය.

ස්ක්‍රීම්ෆෙස්ට් චිත්‍රපට උළෙල මෙවරත් පැවැත්වුණේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදීය. චිත්‍රපට උළෙලේ තිරගත වූ පළමු ශ්‍රී ලාංකික චිත්‍රපටය වූයේ ද 'විකාරි' චිත්‍රපටයයි. එම චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ අශාන් ඩයස්, බිම්සරා ප්‍රේමරත්න සහ බ්‍රිතාන්‍ය රංගන ශිල්පී රිචඩ් ඩී රොබට්ස්. විද්‍යා ප්‍රබන්ධ කෙටි චිත්‍රපටයක් ලෙස නිපදවුණු 'විකාරි' චිත්‍රපටය තුළින් කියැවෙන්නේ ලොව පුරා එකම ආකාරයෙන් විකෘති සහිතව ඉපදුනු දරුවන් සහ ඒ හේතුවෙන් ඇති වන බිය පිළිබඳවයි. චිත්‍රපටය නුදුරේදීම අන්තර්ජාලයට මුදාහැරීමට නියමිතය. 'විකාරි' කෙටි චිත්‍රපටය මීට පෙර ප්‍රදර්ශනය වූ ලොව විශිෂ්ට ගණයේ නිර්මාණ ලෙස සැලකෙන පැරනෝමල් ඇක්ටිවිටි සහ ද ග්‍රජ් වැනි චිත්‍රපට හා සමාන කොට සැලකේ.