800 චිත්‍රපටියට පළ කළ විරෝධයට මුරලිගේ ප්‍රතිචාරය

800 චිත්‍රපටියට පළ කර ඇති විරෝධයට මුරලි ප්‍රතිචාර දක්වයි

by Staff writer 17-10-2020 | 7:31 PM

COLOMBO (News 1st) - මෙරටින් බිහි වූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන් මහතාගේ ජීවිත කතාව පාදක කර ගනිමින් නිර්මාණය කෙරෙන දෙමළ චිත්‍රපටය සම්බන්ධයෙන් අද වනවිට විවිධ කතා බහ ඇති වී තිබේ.

දකුණු ඉන්දියානු කලාකරුවන් පිරිසක් චිත්‍රපටයට විරෝධය පළ කර ඇති අතර මුත්තයියා මුරලිදරන් මහතා නිවේදනයක් නිකුත් කර තිබෙන්නේ ඊට ප්‍රතිචාර දක්වමිනි. 800 ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයේ මුරලිදරන්ගේ චරිතය රඟ දක්වන්නේ දකුණු ඉන්දියානු සුපිරි නළුවෙකු වන විජේයි සේතුපති. ඔහු රඟපෑමෙන් ඉවත් විය යුතු බවට දකුණු ඉන්දියානු කලාකරුවන් පිරිසක් විරෝධය පළ කර තිබේ. මුරලිදරන් මහතා ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින්ට සහය දක් වූ අයෙකු බවත් ඔහුට දෙමළ ජාතිය පිළිබඳ හැඟීමක් නොමැති බවත් දකුණු ඉන්දියානු කලාකරුවන් පිරිස ප්‍රකාශ කර ඇත. මුරලිදරන් මහතා සිය නිවේදනය නිකුත් කර තිබෙන්නේ පවතින ආන්දෝලනාත්මක තත්ත්වය අවසන් කිරීමේ බලාපොරොත්තුවෙනි. තමා මෙම ස්ථානයට පැමිණියේ විශාල බාධක රැසක් මැද බවත්, ක්‍රීඩාව තුළ මෙන්ම පෞද්ගලික ජීවිතය තුළ ද බාධකවලට එකලෙස මුහුණ දී ඇති බවත් ඔහුගේ නිවේදනයේ දැක්වේ. චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට තමා හමුවට පැමිණි පළමු අවස්ථාවේදී තමා වැඩි කැමැත්තක් නොදැක්වු බව පවසන ඔහු සඳහන් කර ඇත්තේ මුරලිදරන් නමැති පුද්ගලයා බිහිකළ ලෝක වාර්තා ඔහුට පමණක් අයත් දේ නොවන බවයි. එම වාර්තා පසුපස සිය මවුපියන්, ගුරුවරුන්, පුහුණුකරුවන්, එක්ව ක්‍රීඩා කළ ක්‍රීඩකයින් සිටින බැවින් ඔවුන්ට ද එහි ස්ථානයක් ලැබිය යුතුය යන අදහස ඇතිව තමා චිත්‍රපටයට කැමැත්ත පළ කළ බව ද නිවේදනයේ සඳහන් ය. ශ්‍රී ලංකාවේ තේ වතු අශ්‍රිතව කුලී රැකියා කළ පුද්ගලයින් ලෙස තම පවුලේ සාමාජිකයින් ජීවන ගමන ආරම්භ කළ බවත් වසර 30 කට වැඩි කාලයක් පැවති යුද්ධයෙන් පළමුව පීඩාවට පත් වුණේ ඉන්දියානු සංක්‍රමණිකයින් වන වතු කම්කරු දෙමළ ජනතාව බවත් මුරලිදරන් මහතාගේ නිවේදනයේ සඳහන් ය. ශ්‍රී ලංකාවේ 70 දශකයේදී දෙමළ ජනතාවට එරෙහිව ඇති වූ සිදුවීම්, ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරකම්, ඉන් පසු ඇති වූ බෝම්බ ප්‍රහාර වැනි දේවල්වලින් අප දැඩි ලෙස තමන් පීඩාවට පත් වූ බව ද මුරලිදරන් මහතා පෙන්වා දී තිබේ. ඔහු පවසා ඇත්තේ, තමාට වයස අවුරුදු 7 ක්ව තිබියදී තම පියාට තුවාල සිදු කළ අතර ඥාතීන් කිහිපදෙනෙකු අහිමි වී ජීවන වෘත්තිය කරගත නොහැකිව පාරට වැටුණු අවස්ථා බොහොමයක් තිබු බව ද මුරලිදරන් මහතාගේ නිවේදනයේ සඳහන්වේ. එබැවින්, යුද්ධයෙන් ඇති වූ පීඩාව හා වේදනාව තමා හොඳින් දන්නා බව ද මුරලිදරන් මහතා පවසයි. තම ජීවන ගමන සිදු වූයේ වසර 30 ක් පුරා යුද්ධයක් පැවැති ශ්‍රී ලංකාවේ බව පෙන්වා දෙන මුත්තයියා මුරලිදරන් මහතා සඳහන් කර ඇත්තේ, එවැනි අවස්ථාවක ක්‍රිකට් කණ්ඩායමට තේරී වාර්තා පිහිටුවීමට සමත් වීම 800 චිත්‍රපටයෙන් නිරූපණය වන බවයි.