දිවි රඟ මඬලින් නික්ම ගිය රතු හැට්ටකාරිය..

රඟහල අඩ අඳුරේම තබා, දිවි රඟ මඬලින් නික්ම ගිය රතු හැට්ටකාරිය..

by Chathurika Jayasundara 17-10-2020 | 1:04 PM

COLOMBO (News 1st) : ලාංකීය වේදිකාවේ රතුහැට්ටකාරිය හෙවත් අනුලා බුලත්සිංහල යනු , සිංහල වේදිකාවේ ස්ත්‍රී හඬ පෞරුෂය යැයි හැඳින්වීම වරදක් නොවේ.

අපූර්ව ඉහළ ස්වර පරාසයන්හි තම හඬ මෙහෙයවීමට ඈ සතුව තිබූ හැකියාව ඊට එක් හේතුවකි. වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා නිළියක මෙන්ම ගායිකාවක ලෙසින් ද අනුලා බුලත්සිංහල මෙරට ප්‍රේක්ෂක සිත් සතන් ඇද බැඳ ගන්නේ ඈ සතුව පැවති විරල ගණයේ කුසලතා නිසා ය. එක් චරිතයකට සීමා නොවී චරිතාංග නිළියක ලෙස වේදිකාවේ විවිධ චරිත නිරූපනයට ඇය දැක්වූ දක්ෂතාවය විචාරක ඇගයීමට පාත්‍ර විය.

සිය සැමියා වූ ලූෂන් බුලත්සිංහලයන්ගේ 'රතු හැට්ටකාරී' සහ 'තාරාවෝ ඉගිලෙති', දයානන්ද ගුණවර්ධනගේ 'මධුර ජවනිකා ' වැනි නාට්‍යයන්හිත්, 'ගම්පෙරළිය', ජැක්සන් ඇන්තනිගේ 'ඇසළ කළුවර' වැනි ටෙලි නාට්‍යයන්හිත් ඇය රංගනයෙන් රංගන පෞරුෂය ප්‍රතිභාපන්න ය.

"රතු හැට්ටකාරී" වේදිකා නාට්‍යයේ රතු හැට්ටකාරිය ලෙසින් ඈ ගැයූ

"දීකිරි දීකිරි...."

නම් ගීතය අදටත් ජනප්‍රියයි. විජේරත්න වරකාගොඩ සමගින්

"රඟහල දැන් ඇත අඬ අඳුරේ.."

ගීතය ගයමින් ඇය අතිශය ජනාදරයට පත් වූවාය. ඇය සිනමාවේ ද මනරම් මතක රැසක් ඉතිරි කළා ය. "මහින්දාගමනය" හා "අසන්ධිමිත්තා" ඇගේ රංගන කෞෂල්‍යයෙන් හැඩ වූ චිත්‍රපට අතර විය. ප්‍රකට ගේය පද රචකයෙකු මෙන්ම නාට්‍යවේදියෙකු වන ලූෂන් බුලත්සිංහලයන්ගේ ආදරණීය බිරිඳ වන ඇය ජනප්‍රිය ගායක හර්ෂ බුලත්සිංහලයගේ හා ඉන්ද්‍රචාපා බුලත්සිංහලගේ මෑණියන් ය.

ඇය පසුගිය දිනක රාජ්‍ය නාට්‍ය උළෙලේ ජීවිතේ එක් වරක් පමණක් පිදෙන ගෞරව සම්මානයෙන් ද පිදුම් ලබන්නී ය.

දිවි රඟ මඬලින් ඔබ බැස ගිය ද වේදිකාවේ, පුංචි තිරයේ හා සිනමාවේ ඔබ ඉතිරි කළ මතකයන් මෙරට ප්‍රේක්ෂක හදවත් තුළ සඳා රැදී පවතිනු ඇති. රතු හැට්ටකාරියනි, ඔබව නිවන් සුව.....!