ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

by Staff writer 16-10-2020 | 7:52 AM
COLOMBO (News 1st) : යුරෝපයේ කොරෝනා ආසාදිතයන් වාර්තාගත ලෙස ඉහළ යාම ඉතා අවදානම් සහගත තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එම සංවිධානයේ යුරෝපා කලාප ප්‍රධානී හෑන්ස් ක්ලූග් සඳහන් කළේ, කෙසේ වෙතත් පවතින තත්ත්වය ඉකුත් අප්‍රේල් මාසයට වඩා යහපත් බවයි . නමුත් වෛරස් ව්‍යාප්තිය මර්දනයට පැනවූ රෙගුලාසි ලිහිල් කළ හොත් 2021 වසර වනවිට කොරෝනා ආසාදනයෙන් යුරෝපයෙන් වාර්තා වන මරණ ඉකුත් අප්‍රේල් මාසයට වඩා හතර පස් ගුණයකින් ඉහළ යනු ඇතැයි ද ඔහු අනතුරු ඇඟවී ය. මේ අතර ප්‍රංශයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. ඒ ඉකුත් පැය 24 තුළ එරටින් නව ආසාදිතයන් 30 621 ක් වාර්තාවීමත් සමගයි. මේ හමුවේ ජීවිත රැකගැනීමට දැඩි සීමා පැනවිය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය යුරෝපයට අනතුරු ඇඟවී ය. ප්‍රංශයට අමතරව බ්‍රිතාන්‍යය, ඉතාලිය , පෝලන්තය සහ ජර්මනියෙන් ද කොරෝනා ආසාදිතයන් වාර්තාවීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. යුරෝපයෙන් දෛනිකව වාර්තාවන නව කොරෝනා මරණ සංඛ්‍යාව ද මේ වනවිට 1000 ඉක්මවන බව සඳහන් ය.