මාධ්‍යවේදියෙකුටත් කොරෝනා ආසාදිතද?

මාධ්‍යවේදියෙකුටත් කොරෝනා ආසාදිතද?

by Staff writer 16-10-2020 | 10:13 PM
COLOMBO (News 1st): ඉකුත් 13 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ මාධ්‍ය හමුවට සහභාගී වූ මාධ්‍යවේදියෙකු කොවිඩ් ආසාදනයට ලක්ව ඇතැයි සැක කරන බවත් ඒ හා සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද(16) නිවේදනය කළේය. එහි සඳහන් වූයේ අදාළ මාධ්‍ය හමුවට සහභාගී වූ සියලුම මාධ්‍යවේදීන්ගේ තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අංශ වෙත ලබා දී ඇති බවයි. 13 වැනිදා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වුණේ සතියේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවයි. කෙහෙළිය රඹුක්වැල්ල හා රමේෂ් පතිරණ යන සම කැබිනට් ප්‍රකාශකවරුන් හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයාත් මෙම මාධ්‍ය හමුවට සහභාගිවී සිටියේය.

කොවිඩ් වසංගතයත් සමග කොළඹ නගරය ආශ්‍රිත තත්ත්වය?

කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු සේවක මණ්ඩලයේ 130 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද පෙරවරුවේ සිදුකෙරුණි. ඒ, කොළඹ මහ නගර සභාවේ පුණ්‍යාධාර දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් කොරෝනා ආසාදිත බව තහවුරු වීමත් සමගිනි. කොවිඩ් ආසාදිතයෙකුගේ සමීපතමයෙකු පැමිණීම නිසා කොළඹ මැනිං වෙළඳපොළේ වෙළඳසැල් කිහිපයක් තවදුරටත් වසා තිබේ. රත්මලාන, රතුකුරුස නිවාස සංකීර්ණයේ 63 හැවිරිදි කාන්තාවකට ද කොරෝනා ආසාදිත බව තහවුරුවීමත් සමග පවුල් 10 ක පුද්ගලයින් 34 දෙනෙකු අද ස්වයං නිරෝධායනයට යොමු කෙරිණි. අදාළ නිවාස සංකීර්ණය ද අද පෙරවරුවේ විෂබීජහරණය කරනු ලැබිණි. මේ වනවිට කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන 15කි. 636 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ. මීරිගම විවිධ සේවා සමූපකාරයේ නිලධාරියෙකුට කොරෝනා ආසාදිත බව තහවුරු වීමත් සමග ඊයේ(15) පස්වරුවේ මීරිගම සමුපාකාරය වසා දැමුණි. උදරාබාධයක් හේතුවෙන් පොළොන්නරුව රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් වූ කාන්තාවකට ද කොරෝනා ආසාදිත බව අද තහවුරු විය. මේ හේතුවෙන් පොළොන්නරුව රෝහලේ 22 වැනි වාට්ටුවට රෝගීන් ඇතුළත් කර ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබේ.