මයික් පොම්පියෝ මෙරටට පැමිණෙයිද?

මයික් පොම්පියෝ මෙරටට පැමිණෙයිද?

by Staff writer 16-10-2020 | 7:55 PM
COLOMBO (News 1st): අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරයක සූදානමක් ගැන මේ දිනවල විවිධ තොරතුරු වාර්තා වේ. අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ ආරක්ෂක ලේකම් මාර්ක් එක්ස්පර් ඔක්තෝම්බර් 26 සහ 27 ඉන්දියාවට පැමිණීමට සැලසුම් කර තිබේ. ඔවුන් ඉන්දියාවට පැමිණෙන්නේ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජෙයශංකර් හා ආරක්ෂක අමාත්‍ය රංජිත් සිං සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා වටයක් සඳහායි. "ටූ ප්ලස් ටූ" (2+2) ලෙස නම්කර ඇති මේ සාකච්ඡා වටයේදී විශේෂයෙන්ම ඉන්දු - පැසිෆික් ප්‍රතිපත්ති පිළිබඳව තීරණතාමක සාකච්ඡාවටයක් පැවැත්වීමට නියමිතව තිබේ. ඉන්දීය සාගරයට බාධාවකින් තොර නිදහස් පිවිසුමක් පැවතිය යුතු බව ඇමරිකානු ස්ථාවරයයි. පසුගියදා ටෝකියෝ නුවරදී හමුවූ ඉන්දු, ඇමරිකා, ජපාන හා ඕස්ට්‍රේලියා විදේශ අමාත්‍යවරුන් මේ පිළිබඳව සිය ක්‍රියාමාර්ග පුළුල් ලෙස සාකච්ඡා කළේය. ඉන්දු - අමෙරිකා සාකච්ඡා වටය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ සිව් දෙනාගේ සාකච්ඡා වටයෙන් පසුවයි. ඉන්දීය සංචාරය අතරතුර පැය කිහිපයකට අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණීමට බොහෝදුරට ඉඩ ඇතැයි පුවත්පත් පසුගියදා වාර්තා කළේ, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා උපුටා දක්වමිනි. කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය අප කළ විමසීමකදී පැවසුවේ රාජ්‍ය ලේකම්වරයාගේ පැමිණීම නිල වශයෙන් මෙතෙක් තහවුරු කර නොමැති බවයි. මීට පෙර පසුගිය වසරේ ජුනි මාසයේ මෙරටට පැමිණීමට මයික් පොම්පියෝ මහතා සැලසුම් කළත් MCC හා සෝෆා ගිවිසුම් සම්බන්ධයෙන් දැඩි විරෝධතා මතුවූ පසුබිමක එය අවලංගු කෙරිණි. පසුව මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුව දැනට කෙටුම්පත්කර ඇති MCC ගිවිසුම ව්‍යවස්ථාවට පටහැනි බවත් එහි බරපතල කරුණු රැසක් ඇති බවත් ජනාධිපතිවරයාට නිර්දේශ කළේය. මේ වනවිට පාර්ශව ගණනාවක් පෙන්වා දෙන්නේ ඉඩම් නීති ප්‍රතිසංස්කරණ හා පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සඳහා දැනට ඉදිරිපත්කර ඇති MCC කෙටුම්පත වෙනුවට විදුලිය, අධ්‍යාපන ඇතුළු වෙනත් ව්‍යපෘති කෙරෙහි අවධානය යොමුව ඇති බවක් පෙනෙන්නට ඇති බවයි. මහ මැතිවරණයෙන් පසුව අමාත්‍ය මණ්ඩලය පත්කළ වහාම කොළඹ අමෙරිකානු තානාපති අලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් හා විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් හමුවිය. මේ සාකච්ඡාවලින් පසුව ප්‍රකාශ වූයේ අධ්‍යාපන හා විදුලිබල ක්ෂේත්‍ර වැඩි දියුණු කිරීමට ඇමරිකාව සහයවීමට සූදානම් බවයි. අමෙරිකානු හමුදා සාමාජිකයින්ට මෙරටට ඇතුළුවීමට, රැඳී සිටීමට හා නිදහසේ සංචරණය කිරීමටත් ඉඩ ලැබෙන සෝෆා ගිවිසුම පිළිබඳවත් පසුගිය කාලයේ දැඩි විවේචන එල්ල විය. අමෙරිකානු තානාපතිනිය මීට මාස කිහිපයකට පෙර ඒ පිළිබඳව කළ පැහැදිලි කිරීමකදී ප්‍රකාශ කර තිබුණේ මෙය අමෙරිකානු හමුදා රට ඇතුලේ රැඳී සිටිමින් නිදහසේ සැරිසරන පහසුකම් දෙන ගිවිසුමක් නොවන බවයි. විසිටින් ෆෝසස් ඇග්රීමන්ට් ලෙස ඇය එය හදුන්වා දුන්නාය. අවශ්‍ය අවස්ථාවල ශ්‍රී ලංකාවට ගොඩබැසීමත් පිටව යාමත් මේ මගින් සිදුකිරීමට යෝජිතය. කෙසේවෙතත් මේ ගිවිසුම් දෙක පිළිබඳව බරපතල සංවාදයක් රටේ පවතිද්දී අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය ගැන කරුණු අනාවරණය වෙමින් තිබේ.