මහා සංඝරත්නයෙන් ජනපතිට ලිපියක්

ඉදිරිපත් කර ඇති 20 ගැන නැවත සිතා බලන්න - මහා සංඝරත්නයෙන් ජනපතිට ලිපියක්

by Staff writer 16-10-2020 | 2:56 PM
COLOMBO (News 1st) : ජනතාවගේ ආදරය දිනාගත් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ බලතල යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හීනවන බව වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීම උදෙසා සුවිශේෂී කාර්යය භාරයක් ඉටුකළ හිමිවරුන් හත් නමක් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. ජනාධිපතිවරයාට යැවූ ලිපියකින් උන්වහන්සේ අවධාරණය කර ඇත්තේ, 20න් නීතියේ පාලනයක් නොමැති අස්ථාවර රාජ්‍ය යාන්ත්‍රණයක් බිහිවීමට බොහෝ ඉඩකඩ ඇති බවයි. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි මාහාචර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, පූජ්‍ය මල්වානේ චදන්දරතන හිමි හා පූජ්‍ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමියන්ගේ අත්සනින් මේ ලිපිය ජනාධිපතිවරයාට යවා තිබේ. එහි සඳහන් වන්නේ අත්තනෝමතික ලෙස විධායකය මෙහෙයවිය හැකි, ව්‍යවස්ථාදායකය හා අධිකරණය තම අණසකට යටත් කරන්නට තරම් බලයක් සහිත ජනාධිපතිවරයකු හා දුබල අමාත්‍ය මණ්ඩලයක් විසිවෙනි සංශෝධනය හරහා බිහිවන බවයි. ජනාධිපති ධූරය දරන්නා විසින් කරන ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන් අධිකරණය හමුවේ අභියෝග කිරීමේ අයිතිය ද ඒ මගින් ජනතාවට අහිමි කර ඇති බව එම ලිපියේ සඳහන් වේ. යෝජිත සංශෝධනයෙන් නීතියේ පාලනයක් නොමැති අස්ථාවර රාජ්‍ය යාන්ත්‍රණයක් බිහි වීමට බොහෝ ඉඩකඩ පවතින බව උන්වහන්සේ අනතුරු අඟවා තිබේ. ජාතික සංවිධාන ඇතුළු දේශප්‍රේමී ජනතාව නියෝජනය කරමින් යැවූ බව සඳහන් ලිපියේ ඇතුළත් තවත් කරුණු කිහිපයක් පහත පරිදි වේ. "20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකසා තිබෙන්නේ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය පසුපස සිටි ජාතික බලවේග හා ජනතා අපේක්ෂා සම්පූර්ණයෙන්ම නොසලකා හරිමිනි. ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරීමට අවම දැනුමක් වත් නැත්තෙකුගේ කර්තෘත්වයක් පෙන්වන මෙම කෙටුම්පත දැනටමත් ජනතාවගේ අප්‍රසාදයට ලක්වී තිබේ. මේ නිසා අප සැකකරන්නේ මෙය ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය පළුඳු කිරීමේ කූට අරමුණින් යුතුව හෝ රටත් ජාතියත් පාවාදීමට ක්‍රියා කරන කුමන්ත්‍රණකරුවන්ගේ අදිසි හස්තයක් මෙම ක්‍රියාදාමය පිටුපස ඇති බවටයි. හදිසි පනත් කෙටුම්පත් ගෙන ඒම සඳහා ප්‍රතිපාදනය, අමාත්‍ය මණ්ඩලය නියෝජ්‍ය අමාත්‍යවරුන් හා කැබිනට් නොවන ඇමතිවරුන් හා ඔවුන්ගේ ලේකම්වරුන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් දේශය තුළ වෙනම රාජ්‍යයක් ඇති නොකරන බවට පොරොන්දු වෙමින් ලබාදිය යුතු ප්‍රතිඥාව ඉවත් කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීම සඳහා පනවා ඇති ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ බාධක ඉවත් කිරීම යන කරුණු ඉවත්විය යුතුයි. බලවත් විදේශ රටවලට පක්ෂපාතීවන හා විදේශ රටවල දරු පවුල් පුරවැසිභාවය ලබා රැඳී සිටින තැනැත්තන් අපගේ නීති සම්පාදකයින් කිරීම භයානකයි. එවැනන් අප රටට හිතවත්ව හා පක්ෂපාතීව කටයුතු කරතැයි සහතික විය නොහැකියි. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පමණක් නොව ඕනෑම උසස් තනතුරක් දැරීම ද්විත්ව පුරවැසියන්ට තහනම් කළ යුතුව තිබේ. විගණකාධිපතිවරයාගේ විෂය පථයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති ලේකම් කාර්යාලය, හා රජය විසින් 50% කොටස් දරන සමාගම් ඉවත් කිරීම, මැතිවරණ කොමිෂන් සභාව විසින් හා නීතිය මගින් පනවන විධිවිධාන උල්ලංඝනය කරන තැනැත්තන්ට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව ද මේ සංශෝධනයෙන් ඉවත් කළ යුතුයි. අසීමිත අමාත්‍යවරුන් සංඛ්‍යාවක් පත් කිරීමට තිබෙන අවකාශය ප්‍රයෝජනයට ගෙන සුළු අන්තවාදී පක්ෂවලට බහුතර ජනතාවගේ ඡන්දයෙන් පත් කරන ආණ්ඩු සමග කේවල් කිරීමට අවස්ථාව ලැබෙනු ඇති. රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා වැනි පිරිස් මේ වන විටත් ආණ්ඩුවත් සමඟ සමීපව කටයුතු කිරීමට පටන් ගෙන තිබෙන්නේ අනාගතයේදී මෙවැනි සංශෝධනවල වාසිය ලබා ගැනීමේ යටි අරමුණින්ද? " පූජ්‍ය බෙංගමුවේ නායක හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේ යැවූ ලිපියේ අවධාරණය කර ඇත්තේ ආණ්ඩුව පත්වීමේදී ජනතාවට දුන් පොරොන්දුව අලුත් ව්‍යවස්ථාවක් බවයි. එම නිසා මේ වන විට රට තුළ ආන්දෝලනයට ලක්ව තිබෙන විසිවන සංශෝධනය ඉදිරිපත් කර තිබෙන ආකාරයෙන් සම්මත කර ගැනීම පිළිබඳව නැවත සිතා බලන ලෙස උන්වහන්සේ ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.   https://www.youtube.com/watch?v=I9gpBDSB7vU