පැරිස් ඇතුළු තවත් නගර 8කට රාත්‍රී ඇඳිරි නීතිය

පැරිස් ඇතුළු තවත් නගර 8කට රාත්‍රී ඇඳිරි නීතිය

by Staff writer 15-10-2020 | 7:49 AM
COLOMBO (News 1st) : කොරෝනා ව්‍යාප්තිය යළි උත්සන්න වීම හමුවේ පැරිස් නුවර ඇතුළු තවත් නගර 8ක රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට ප්‍රංශ රජය තීරණය කර තිබේ. ප්‍රංශ ජනාධිපතිවරයා නිවේදනය කළේ, මෙම නීතිය ලබන සෙනසුරාදා සිට බලාත්මක වන අතර අවම වශයෙන් සති හතරක කාලයක් බලපැවැත්වෙනු ඇති බවයි. මීට අමතරව ප්‍රංශයේ මහජන සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කෙරිණ. මේ අතර තැබෑරුම්, අවන්හල් ඇතුළු වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම වැඩි ස්ථාන නියමිත කාලයට පෙර වසා දැමිය යුතු බව ජර්මනිය නිවේදනය කළේ ය. ඒ ඉකුත් අප්‍රේල් මාසයට පසු ප්‍රථම වරට ජර්මනියෙන් 5000 ඉක්මවූ දෛනික ආසාදිතයන් පිරිසක් වාර්තාවීමත් සමගයි. නෙදර්ලන්තය මාසයක කාලයක් අර්ධ වශයෙන් වසා දමා ඇති අතර එරට අවන්හල් වසා දැමීමටද පියවර ගනු ලැබී ය. ස්පාඤ්ඤයේ කැටලෝනියා පලාත සඳහන් කළේ, දින 15 ක කාලයක් අවන්හල් සහ තැබෑරුම් වසා දමන බවයි. අද සිට අන් අයගේ නිවෙස් වෙත යාම තහනම් කිරීමට අයර්ලන්ත රජය පියවර ගත්තේ ය. දෙවන කොරෝනා රැල්ලේ ව්‍යාප්තිය උත්සන්න වීමත් සමඟ යුරෝපයේ තවත් රටවල් රැසක් නව කොරෝනා මර්දන නීති හඳුන්වා දුන්නේ ය.