හිටපු ජනපති තෙවන දිනටත් ජනපති කොමිසම හමුවට

හිටපු ජනපති තෙවන දිනටත් ජනපති කොමිසම හමුවට

by Staff writer 14-10-2020 | 5:48 PM
COLOMBO (News 1st) : අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම් අදත් සිදුවිය. තමා ජනාධිපති ධුරය දැරූ කාලසීමාවේදී අවස්ථා කිහිපයක ආරක්ෂක මණ්ඩල රැස්වීම සඳහා විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු කැඳවීමට පියවර ගත් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් සඳහන් කළේ ය. තුන්වෙනි දිනටත් එම කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ එවකට ආරක්ෂක මණ්ඩලය තුළ තමා වෙනුවෙන් පෙනී සිටීමට කිසිවෙකුත් නොසිටි බවයි. ඒ හේතුවෙන් තමා වෙනුවෙන් කතා කිරීමටත් පෙනී සිටීමටත් තම විශ්වාසී තම පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අවස්ථා කිහිපයක එලෙස ආරක්ෂක මණ්ඩල රැස්වීමට කැඳවූ බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ ය. දින 52 ආණ්ඩුව සමයේදී පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට එවකට අග්‍රාමාත්‍ය ධුරය දැරූ මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ කර නොගත්තේ ඔහු සමඟ ඇතිකරගත් එකඟතාවක් මත බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසී ය. එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළේ, 2018 දෙසැම්බර් 16 වනදායින් පසුව යළිත් අග්‍රාමාත්‍ය ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ගැනීමෙන් පසුව ඔහු ආරක්ෂක මණ්ඩල රැස්වීම් සඳහා සහභාගී කර නොගන්නැයි මෙත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී ඇති බව මෙම කොමිෂන් සභාව හමුවේ බොහෝ පුද්ගලයන් සාක්ෂි ලබාදෙමින් සදහන් කර ඇති බවයි. ආරක්ෂක මණ්ඩලයේ සබන්ධයෙන් නිකුත් කොට ඇති ගැසට් නිවේදනය තුළ ඊට සහභාගී කරගත යුතු පුද්ගලයන් අන්තර්ගත වී තිබෙනවා නමුත් එහි අගමැති සම්බන්ධ කර ගත යුතුයි කියලා සඳහනක් නොමැත. ජනාධිපතිවරයාට අවශ්‍යතාවයක් තිබුණොත් පමණක් අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක මණ්ඩල රැස්වීමට කැඳවා ගැනීමට හැකියාවක් තිබෙනවා,ඊට පිළිතුර ලබා දෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ ය.