by Staff writer 14-10-2020 | 6:40 PM
COLOMBO (News 1st) : රිෂාඩ් බදියුද්දීන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි, පොලීසිය පවසයි.
ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරයෙකු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත්කර ඇප මත මුදා හැරිණ.
පොලිස් කණ්ඩායම් අදත් කොළඹ පිහිටි රිෂාඩ් බදියුද්දීන් මහතාගේ නිවසට ගොස් තිබුණේ, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහායි.
පසුගිය මහ මැතිවරණ සමයේ පුත්තලමේ සිට මන්නාරමට අවතැන්වූ පුද්ගලයින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රවාහනය කිරීම නිසා රාජ්‍ය මුදල් අවභාවිතය හා පොදු දේපොළ පනත යටතේ ගැනෙන වැරදි සිදුකළ බවට ඔහු ඇතුළු තිදෙනෙකුට චෝදනා එල්ලවී තිබේ.
හිටපු අමාත්‍යවරයාගේ ගණකාධිකාරී අලගරත්නම් මනෝරන්ජන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිරුළපනදී අත්අඩංගුවට ගෙන අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළේ ය.
එහිදී ඔහු ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේ ය.
මේ අතර ඊයේ පස්වරුවේ රිෂාඩ් බදියුද්දීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහු භාවිත කළ බව කියන මෝටර් රථ දෙකක් සිය භාරයට ගෙන තිබිණ.
ඒ එහි රියදුරන් දෙදෙනා සහ හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයා ද සමගයි.
නීතිවිරෝධි ගිනිඅවි සන්තකයේ තබා ගත්තැයි, වැල්ලවත්තේදී අත්අඩංගුවට ගත් තිදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රියදුරන් දෙදෙනා ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේ ය.
පොලිස් කොස්තාපල්වරයා මුදාහැරියේ රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මතයි.
මේ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ මොහොමඩ් යාසින් යන සැකකරුවන්ට විදෙස්ගත වීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද පස්වරුවේ තහනම් කරනු ලැබී ය.