COLOMBO (News 1st) : 20 වන සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර, සාමග්‍රී සංඝ සභාවේ ලේකම් මණ්ඩලය පෙරේදා විවේචනාත්මකව අදහස් දක්වමින් කියා සිටියේ එය ප්රජාතන්ත්ර විරෝධී බවයි.
මේ ප්‍රකාශය ගැන රාමඤ්ඤ නිකායේ මහනාහිමියන් සහ අමරපුර සංඝ සභාවේ සභාපති හිමියන් ඊයේ ප්‍රකාශයක් සිදු කළහ.
උන්වහන්සේලා කියා සිටියේ ලේකම් මණ්ඩලයේ මතය තම නිකායේ මතය නොවන බවයි.
අද යළිත් මාධ්‍ය හමුවක් කැදවූ ශ්‍රී ලංකා අමරපුර, සාමග්‍රී සංඝ සභාවේ ලේකම් මණ්ඩලය ඊට ප්‍රතිචාර දැක්වූහ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක පූජ්‍ය මහාචාර්ය අත්තංගනේ රතනපාල හිමියන් සිදු කළ ප්‍රකාශය පහතින්...
''පහුගිය ඔක්තෝබර් මාසේ 5 වැනිදා ශ්‍රී ලංකා අමරපුර සාමග්‍රී සංඝ සභාවේ ලේකම් මණ්ඩලය රැස් වෙලා තීන්දු කළා මේ 20 වැනි සංශෝධනය අධ්‍යනය කරලා නීතිඥ මහත්වරුන්ගේ සහයෝගයෙන් අපි තීරණය කළා මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරන්න ඕනේ කියලා රටට. ඒ කියන්නේ මේ 20 තියන බරපතල හානිකර ප්රජාතන්ත්රවිරෝධී තත්ත්වය ගැන රට දැනුවත් කරන්න. ඒ අනුව තමයි ඔක්තෝබර් 11 වැනිදා මහා සංඝ මූලස්ථානයේදී ද්විනිකායේ ලේකම් මණ්ඩලය රැස් වෙන්නේ. ඒ අනුව තමයි අපි 11 වැනිදා මාධ්‍ය හමුවක් කැදවලා අපි ඒකාබද්ද නිවේදනය රටට මුදාහරින්න. ආණ්ඩුව කොයි තරම් මේකෙන් භීතියට පත් වුනාද කියනවා නම් අර අවුරුදු 100ක් වයස අපේ මහානායක නාහිමියන් වහන්සේ ඒ වගේම අසනීප තත්ත්වයේ ඉන්න ස්වාමීන් වහන්සේලා මුනගැහිලා යම් යම් ප්‍රකාශ අරගෙන තිබුනා. ඉතින් ඒ මහානායක වහන්සේලා කරන ප්‍රකාශ හරියටම හරි. උන්වහන්සේලා කියන්නේ රාමඤ්ඤ සංඝ සභාවේදී ගත්ත තීන්දුවක් නෙමෙයි මේක කියලා. ඒක හරි. රාමඤ්ඤ සංඝ සභාවේදී ගත්ත තීන්දුවක් නෙමෙයි මේක. ඒ වගේම අමරපුර මහා නිකායේ ස්වාමීන්වහන්සේ මතක් කරනවා අමරපුර විධායක සභා ආදියෙහි සාකච්ඡා වෙච්ච එකක් නෙමෙයි කියලා. ඒකත් හරි. මේක අමරපුර විධායක කාරක සභාවේ සාකච්ඡා වෙච්ච එකකුත් නෙමෙයි. මේක හරියට හදුනාගන්න ඕනේ, ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී සංඝ සභාවේ ලේකම් මණ්ඩලය කරපු ප්‍රකාශයක්. ඒ කියන්නේ රටට හානියක් වෙනවා නම් , විනාශයක් වෙනවා නම්, හානියක් වෙනවා නම් , ඒ වගේ අවස්ථාවක ඉදිරිපත් වෙලා කටයුතු කිරීමට තමයි මේ සංවිධානය පිහිටුවගෙන තියෙන්නේ. දැන් අපි ඉදිරියට සියම් මහා නිකායේ ස්වාමීන් වහන්සේලා එක්කත් කතා කරගෙන යනවා තුන් නිකායම ඒකාබද්ධව කටයුතු කිරීම , ඒ සංඝයාගේ සමගිය හොදයි, ඒකට කැමතියි, අපි ඒ නිසයි අපි ඒ විදියට කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආණ්ඩුව මේ වෙලාවේ භීතියට පත් වෙලා තියෙන්නේ අපේ මේ ප්‍රකාශයට නෙමෙයි, අපේ සමගියට. සංඝයාගේ සමගිය ඒගොල්ලන්ගේ රටට අහිතකර වැඩපිළිවෙලට බාධාවක් වෙයි කියලා තමයි මේ ඒගොල්ලෝ විරුද්ධ වෙන බව පේන්නේ. මේක රටේ ජනතාව තේරුම්ගන්න ඕනේ, බුද්ධිමත් සංවිධාන තේරුම්ගන්න ඕනේ, රටේ ගරුතර මහාසංඝරත්නය තේරුම්ගන්න ඕනේ. අපි සංඝරත්නය විදියට එකතු වෙලා රටට අහිතකර තත්ත්වයන් එනවා නම් ඒවට ක්‍රියාමාර්ග ගන්න ඕනේ''