by Staff writer 13-10-2020 | 10:07 PM
COLOMBO (News 1st) : මහ ජනයා සහ දේශපාලකයා අතර බැඳීම හෝ විරසක වීම තීරණය වන්නේ ව්‍යවස්ථා බලය තුළින් ඒකාධිපතියන් බවට පත්වීමෙන් නොවන බව ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
ඔහු පන්වා දෙන්නේ පාලකයින්ගේ තිබෙන අවංකභාවය සහ විශ්වසනීයභාවය පදනම් කරගෙන ජනතාව සහ පාලකයින් අතර බැඳීම තීරණය වන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මේබව පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමිනි.
විජයදාස රාජපක්ෂ මහතා යොමු කළ එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ 2005 සිට අවිධිමත් ණය ලබාගැනීම හේතුවෙන් අද රට අධික ණය බරක සිරවී ඇති බවයි.
එම නිසා රටේ වටිනා සම්පත් කොටස් වශයෙන් චීනය අත්පත් කරගෙන ඇති අතර රටේ වටිනා ම ආර්ථික හා ආරක්ෂක මර්මස්ථාන මේ වන විට අපට අහිමි වී ඇති බව විජය දාස රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
එහි ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකාව ඇතුළු බටහිර ආධිපත්‍ය මෙරට ආරක්ෂක හා ආර්ථික මර්මස්ථාන ඩැහැ ගැනීමට කටයුතු කරමින් සිටින අතර එළිපිට නොපෙනුනත් චීනය හා ඇමෙරිකාව අනාගතයේ ඔවුන්ගේ යුධ පිටිය බවට ශ්‍රී ලංකාව පත්කර ගැනීමේ සටන ආරම්භ කර ඇති බවයි.
මෙවන් මොහොතක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුද නිර්මාණය කරගනිමින් දේශපාලනික ව කුලල් කා ගැනීම ඉතාමත් ම අමනෝඥ ක්‍රියාවක් බවත් එමගින් රටේ ජාතික ආරක්ෂාව සහ ආර්ථිකය යන දෙක ම විනාශ වීම වළක්වාගත නොහැකි වනු ඇති බවත් විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ විසිවන සංශෝධනයෙන් ඉදිරිපත් කර ඇති බොහෝ කරුණු පිළීබඳ මහජන විරෝධය උත්සන්න වෙමින් පවතිද්දී රටේ පොදු ජනතාව අපේක්ෂා භංගත්වයට පත්වී ඇති බවයි.
මෙම ලිපිය ජනාධිපතිවරයාට ලිවීමට හේතුව පවතින තත්ත්වය පිළිබඳ ව සාකච්ඡා කිරීමට ඔක්තෝබර් මස 09 වන දින අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමේදී ඒ පිළිබඳ සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, එය අනිවාර්ය ලෙස සම්මත කළ යුතු බවත් ප්‍රකාශ කරමින් කිසිවකුටත් අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් ලබා නොදුන් නිසා බව විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
ඉදිරිපත් කර ඇති විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අනර්ථකාරී අංග 10ක් ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිතුමාගේ අවධානයට ලක්කරයි.
ඉන් පළමු වැන්න නම්
1. ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පැවරී ඇති පහත සඳහන් වගකීම් සහ යුතුකම් ඉටුකිරීම් වලින් ඉවත් වීමයි.
ඒ වගකීම් හා යුතුකම් වන්නේ
අ) ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කර ආරක්ෂා කරන බවට වගබලාගත යුතු බවට වූ වගකීම.
ආ) ජාතික ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම
ඇ) නිදහස් මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය සහාය ලබාදීම.
ඈ) ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු බව.
ඉ) මූලික අයිතිවාසිකම් නඩුවකින් ජනාධිපතිවරයාගේ ක්‍රියාවක් හෝ නොකර හැරීමක් අභියෝගයට ලක් කිරීමට පුරවැසියන්ට ඇති අයිතිය.
මහජන ඡන්දයෙන් තේරීපත්වන ජනාධිපතිවරයා තමන්ට පැවරී ඇති මෙම වගකීම් වලින් මුදා හැරීමට නීති සැකසීමේ අවශ්‍යතාව කුමක් දැයි විජයදාස රාජපක්ෂ මහතා ප්‍රශ්න කරනවා.
ඔහු පෙන්වා දෙන්නේ එම වගකීම් ඉටුකිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් සමාජය තුල ජනාධිපතිතුමා ගොඩනගා ඇති ප්‍රතිරෑපයට හාණි වන බවයි.
උපුටාගැනීම -
"රාජ්‍ය නායකයකු ශ්‍රේෂ්ඨත්වයට පත් වන්නේ හිතුවක්කාර තීරණ ගැනීම තුළින් නොව පාලිතයා මෙන් ම පාලකයා ද නීතියේ ආධිපත්‍යයට යටත් ය යන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරය පිළිගෙන කටයුතු කිරීමට තරම් නිහතමානී, නිරහංකාරත්වයට පත්වන තරමට ය.
පාස්කු ඉරිදා සිදු වූ මහා ජන සංහාරයේ මහමොළකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමක් පවා සිදු නොකරමින් පොලිසිය විසින් ම ඔවුන් මුදා හැර ඇති හෙයින් මෙරට නීතියේ ආධිපත්‍යය ගිලිහී ඇති බව මහජනයා තේරුම්ගෙන ඇත."
මීට අමතරව රාජපක්ෂ මහතා පෙන්වා දෙන අනෙක් කරුණු නම්..
2. රටකට අත්‍යවශ්‍ය විගණන සේවා කොමිෂන් සභාව, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව යන කොමිෂන් සභා අහෝසි කිරීම.
03. මෙරට ජනතාව දශක ගණනාවක් තිස්සේ සටන් කොට ලබාගත් අයිතියක් ලෙස හැඳින්විය හැකි කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 30 නොඉක්මවිය යුතු බව සහ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාව 40 නොඉක්මවිය යුතු ය යන සීමාවන් ඉවත් කිරීමට රජයට ඇති අවශ්‍යතාව කුමක් ද යන්න ජනතාවට කිසිසේත් අවබෝධ කරගත නොහැකි කරුණක් බවද විජයදාස රාජපක්ෂ මහතාගේ අදහසයි.
4. පාර්ලිමේන්තුව රැස් වූ දින සිට වසරක් ඇතුළත විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරීමද ඒකාධිපති බලයක් ලෙස විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.
5. හදිසි අවස්ථා පනත් ඉදිරිපත් කිරීම පිණිස නැවත ප්‍රතිපාදන හඳුන්වා දීද ඉතා අනර්ථකාරී කටයුත්තක් බව ආන්ඩු පක්ෂ මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතකාගේ අදහසයි.
6. ද්විත්ව පුරවැසියකුට මන්ත්‍රීවරයකු සහ ජනාධිපතිවරයකු වීමට සුදුසුකම් ඇති බවට නීතිය වෙනස් කිරීම තුළින් රටට ද්‍රෝහී පුද්ගලයින් රාජ්‍ය තන්ත්‍රයට පත්වීම සිදුවන බව විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. ඔහු පවසන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව මංකොල්ල කෑ අර්ජුන් මහේන්ද්‍රන් වැන්නන් තවදුරටත් රටට අවශ්‍ය නොවන බවයි.
7. මහජන මුදල් වංචා නොකරන බවට විශ්වාසයක් ඇත්නම් ජනාධිපති ලේකම් කාර්යාලය හා අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයෙන් ඉවත් කිරීමේ අරමුණ කුමක්දැයි ආචාර්ය විජය දාස රාජපක්ෂ මහතා ප්‍රශ්න කරයි.
8. රාජ්‍ය සමාගම් විගණකාධිපතිගේ අධීක්ෂණයෙන් ඉවත් කිරීමේ යෝජනාව ගැන විජයදාස රාජපක්ෂ මහතා නගන ප්‍රශ්නය නම් "එම ආයතන වල පාලකයන්ට සොරකම් කිරීමේ චේතනාවක් නැත්නම් හෝ සොරකම් නොකරයි නම් විගණනයෙන් ඉවත් කිරීමේ හේතුව කුමක් ද?" යන්නයි.
9. දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ නීති සම්මුති නොසලකා හැරීමත්,
අල්ලස් හෝ දූෂණ විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවට පැවරී ඇති බලතල අහෝසි කිරීමත් තුළින් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව දූෂණ පවතින රටක් බවට පිළිගැනෙන අතරම රටේ අල්ලස් හෝ දූෂණ වැඩි කිරීම සිදුවනු ඇති බවත් පෙන්වා දෙයි.
10. ශ්‍රී ලංකාව දෙකඩ නොකරන බවට දක්වන උපලේඛනයේ ඇති දිවුරුම ඉවත් කිරීම ගැන අවධානය යොමු කරන විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ
මෙය අත්වැරදීමකින් සිදු වී ඇති බව මේ වන විට අධිකරණ අමාත්‍යවරයා පිළිගෙන ඇති බවයි.
ඔහු ඉල්ලා සිටින්නේ රට ඉතා අසීරු තත්ත්වයකට මුහුණ දී ඇති මේ අවස්ථාවේ දේශපාලන විරසකභාවයන් වර්ධනය කරමින් රට අරාජික දේශයක් බවට පත් නොකොට සියලු පක්ෂ වල සහයෝගය ලබා ගනිමින්, විදේශ රටවල විවිධ වූ ආක්‍රමණවලින් බේරා ගනිමින් රටේ ආර්ථිකය ගොඩනැගීමට පියවර ගන්නා ලෙසයි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට පත්කර ඇති විශේඥ කමිටුව අපේක්ෂිත පරමාර්ථ ඉටුකරගත හැකි එකක් නොවන බව විජයදාස රාජපක්ෂ මහතාගේ අදහසයි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට අධිකරණ අමාත්‍යවරයාට හැකියාවක් නැත් නම් එය සිදුකළ යුත්තේ පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාවක් මගින් බවත් ඊට විශේෂඥයින්ගේ උපදෙස් ලබා ගැනීමට කිසිදු බාධාවක් නැති බවත් විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
19වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රට පිරිහුණු බවට නැගෙන චෝදනාවට විජයදාස රාජපක්ෂ මහතා මෙසේ ප්‍රතිචාර දක්වයි.
උපුටා ගැනීම-
"පසුගිය සමයේ රට පිරිහුණේ 19වැනි ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා නොව
එවකට බලයේ සිටි නායකයින්ගේ නොහැකියාව, අපරිනතභාවය සහ අවස්ථාවාදී කුහක පිළිවෙත නිසා බවත් ඔබතුමා සහ ඔබතුමාගේ වැඩිමහල් සොයුරු අග්‍රාමාත්‍යතුමා සමඟ එවැනි ගැටුමක් ඇතිවන බව ඔබතුමා පවසන්නේ නම් ඔබතුමා රටට දෙන පණිවිඩය ඔබතුමන්ට සහ රජයට කොතරම් හානිකර ද යන්න ඔබතුමන් විසින් ම අවබෝධ කරගත යුතු කරුණක් ලෙස සලකමි."
- උපුටාගැනීම අවසන්.
ඔහු පවසන්නේ රටට ගැලපෙන විසඳුම් සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව ජාතික අවශ්‍යතාවක් බව මහජන නියෝජිතයින් තේරුම්ගෙන සිටින බවයි..
ඔහු පවසන්නේ මේ රටේ මුරදේවතාවුන්වන අතිගෞරවනීය මහානායක හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයේ ද, අති උතුම් කාදිනල් හිමිපාණන් වහන්සේ ඇතුළු සියලු ආගමික නායකයින්ගේ ද අවවාද සහ අනුශාසනා ලබා ගනිමින් රටට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට නොපමාව කටයුතු කරන ලෙසයි.