රියාජ් බදියුදීන්ගෙන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු තහනමක් නිකුත් කරන්නැයි, රියාජ් බදියුදීන් පෙත්සමක්

by Staff writer 13-10-2020 | 5:36 PM
COLOMBO (News 1st) : දේශපාලන හේතූ මත තමා අත්අඩංගුවට ගැනීමට දරණ වෑයම වළක්වන අතුරු තහනමක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් මහතා අද අභියාචනාධිකරණයට රීට් ආඥා පෙත්සමක් ගොනු කළේ ය. පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු තමා අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු පෙත්සමෙන් මගින් ඉල්ලා තිබේ. අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය අප්‍රේල් 14 වන දා අත්අඩංගුවට ගත් තමා මාස 5 ට ආසන්න කාලයක් රැඳවුම් නියෝග මත තබා ගනිමින් විමර්ශනය කළ බවයි. එම ප්‍රහාර කිසිවකට තමාගේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බවට පුළුල් විමර්ශනයකින් අනතුරුව අනාවරණ වීම හේතුවෙන් තමන් නිදහස් කළ නමුත් දේශපාලන හේතූ මත නැවත අත්අඩංගුවට ගැනීමේ වෑයමක් පවතින බව රියාජ් බදියුදීන් අධිකරණයට පෙන්වා දී තිබේ. පෙත්සම් විභාගයෙන් අනතුරුව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන රීට් ආඥාවක් වැඩ බලන පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ ය. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, එහි ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 7 දෙනෙකු නම් කර තිබේ.