ආයතන කිහිපයක ව්‍යාප්ත වූ කොරෝනා..

කොරෝනා ව්‍යාප්ත වී ඇති ආයතනවලින් නිකුත් කළ නිල දැනුම්දීම්..

by Staff writer 12-10-2020 | 6:23 PM

COLOMBO (News 1st) - නිවේදනයක් නිකුත් කරමින් NDB බැංකුව පවසන්නේ තම මෙරින් ඩ්‍රයිව් ශාඛාවේ සේවකයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි.

අදාළ සේවකයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට සේවය සඳහා පැමිණෙන බව එහි සදහන් වේ. තහවුරු කර ගත් ආසාදිතයා සමග සේවා ස්ථානයේ ගනුදෙනු කළ ආශ්‍රිතයින් ද මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව NDB බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. මේ අතර කටුනායක සවුත් ඒෂියා ටෙක්ස්ටයිල් ආයතනයේ කළමනාකාරීත්වය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, තම ආයතනයේ සේවකයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. එම නිවේදනයේ සඳහන් වූයේ අදාළ පුද්ගලයාගේ පෞද්ගලික රහස්‍යභාවයට ගරුකරමින් ඔහුගේ අනන්‍යතාව හෙළි නොකරන බවයි. පූර්ව සූදානම් පියවරක් ලෙස තම ආයතනයේ සියලු කටයුතු අත්හිටුවා සේවකයින්ගේ PCR පරීක්ෂණ 10 වැනිදා සිට සිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අදාළ සේවකයා ආසාදිත බවට තහවුරු වූ බව අදාළ ආයතනය වැඩිදුරටත් පවසයි. මේ අතර ලංකා විදුලි පෞද්ගලික සමාගමේ 12 දෙනෙකු ද කොරෝනා අසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. ඒ, එම ආයතනයේ සේවකයෙකුගේ දියණියක මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් අනතුරුව කළ PCR පරීක්ෂණවලින් පසුවයි. මේ අතර කොළඹ 02, ඔන් 320 මහල් නිවාස සංකීර්ණයේ සංචරණ සීමා කෙරුණේ එහි පුද්ගලයෙකුට ද කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරුවීමෙන් පසුවයි. හෙල ක්ලෝතින්ග් ඇඟළුම් ආයතනයේ කළමනාකාරීත්වය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තිහාරියේ පිහිටි තම කර්මාන්ත ශාලාවේ සේවකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවයි. අදාළ ආසාදිතයාගේ බිරිඳ මිනුවන්ගොඩ කොරෝනා අසාදිත පොකුරේ අයෙකු බව එහි සඳහන් වේ.