කොවිඩ් 19 ගැන නවතම හෙළිදරව්වක්

විද්‍යාගාර තත්ත්වයක් තුළ කොවිඩ් 19 දින 28ක් සක්‍රියව පවතන බවට හෙළිදරව්වක්

by Staff writer 12-10-2020 | 8:46 AM
COLOMBO (News 1st) - විද්‍යාගාර තත්ත්වයක් තුළ කොවිඩ් 19 වෛරසයට දින 28 ක කාලයක් සක්‍රියව පැවතිය හැකිබව නවතම අධ්‍යනයක් හෙළිදරව් කරයි. එම පර්යේෂකයන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මුදල් නෝට්ටු , ජංගම දුරකථන තිර සහ මළ නොබැඳෙන වානේ ස්ථර මත ද මෙම වෛරසයට එතරම් දීර්ඝ කාලයක් පැවතිය හැකි බවයි. මේ අනුව අපේක්ෂා කලාට වඩා වැඩි කාලයක් සාර්ස් - කෝව් - ටූ වෛරසයට රඳා පැවතිය හැකි බව ඕස්ට්‍රේලියානු ජාතික විද්‍යා ඒජන්සියේ පර්යේෂකයෝ පෙන්වා දෙති. කෙසේ වෙතත් මෙම පරීක්ෂණය අඳුරු පරිසරයක් තුළ පවත්වා ඇති අතර පාර්ජම්බුල කිරණවලට මෙම වෛරසය විනාශ කළ හැකි බව මීට පෙර තහවුරු කෙරිණ. මේ අතර ඇතැම් විශේෂඥයන් මෙලෙස පෘෂ්ඨ මතින් වෛරසය ආසාදනය වීමේ අවදානම පිළිබඳ සැක පළකර තිබේ. කොරෝනා ව්‍යාප්තිය වැඩි වශයෙන් සිදුවන්නේ ආසාදිතයන් කැසීම , කිවිසුම් ඇරීම හෝ කථාකරන විටයි. කෙසේ වෙතත් වායු අංශු මගින් ද මෙම වෛරසය ව්‍යාප්ත විය හැකි බව මීට පෙර තහවුරු කර තිබිණ. වෛරසය පවතින ලෝහ හෝ ප්ලාස්ටික් පෘෂ්ඨ ස්පර්ශයෙන් එය ආසාදනය විය හැකි බව අමෙරිකාවේ රෝග පාලනය පිලිබඳ මධ්‍යස්ථාන පැවසු නමුත් එවැනි අවස්ථා දුර්ලභ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.