ශානි අබේසේකර ගැන හෙළිදරව්වක්

ශානි අබේසේකරගේ ක්‍රියාවන් නිසා යහපාලනයේදී බුද්ධි අංශය අඩපණ වුණා

by Staff writer 11-10-2020 | 10:15 PM

COLOMBO ( News 1st ) : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ප්‍රමුඛ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය නිසා යහපාලන ආණ්ඩු සමයේදී රාජ්‍ය බුද්ධි අංශය සම්පූර්ණයෙන් අඩපණ වී බුද්ධි ක්‍රියාන්විත ඇණහිට තිබු බව යුද හමුදා බුද්ධි අංශයේ බලලත් නිලධාරී කනිෂ්ක ගුණරත්න මහතා ඊයේ ප්‍රකාශ කළේ ය.

ඔහු එසේ පැවසුවේ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දෙමින් ය. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කරමින් තමා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ බවට යුද හමුදා බුද්ධි අංශයේ බලලත් නිලධාරී කණිෂ්ක ගුණරත්න මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලන ජනපති කොමිසමට පැමිණිලි කර තිබේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩු සමයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බුද්ධි අංශ නිලධාරීන් 300 දෙනෙකුගෙන් පමණ ප්‍රශ්න කර ඇති බවද ඔහු කියා සිටියේ ය. ඒ තුළින් රාජ්‍ය බුද්ධි අංශය ඇණහිටි බවත් අප්‍රේල් 21 ප්‍රහාරයට මග පෑදුණු බවත් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ ය. ඔහු වැඩිදුරටත් පැවසුවේ ශානි අබේසේකර මහතාට අමතරව පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාද තමා අමතා ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම සම්බන්ධයෙන් අසත්‍ය සාක්ෂි ලබාදෙන්නැයි දිගින් දිගටම බලපෑම් කළ බවයි. එම නිලධාරින් තමා අමතා ''නිකං බොරුවට අමාරුවෙ වැටෙන්න එපා. එක්නැලිගොඩ තමන් සමග කොළඹ සිට ගිරිතලේ යුද හමුදා කඳවුරට ගොස් පසුව අක්කරේපත්තුව ට රැගෙන ගිය බව කියන්න , හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කර්නල් ෂම්මි කුමාරරත්න විසින් එක්නැලිගොඩ පැහැරගත් බව කියන්න'' යනුවෙන් තමන්ට දැනුම් දුන් බවයි. අසත්‍ය පැවසීමට නොහැකි යැයි තමා සඳහන් කිරීමෙන් පසු උරණ වූ එම නිලධාරින් තමා සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් නොකර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ 296 වගන්තියෙන් සඳහන් වන මිනීමැරුම් චෝදනා යටතේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළ බවත්, පසුව මාස 8කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි බවත් ගුණරත්න මහතා සඳහන් කළේ ය. ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගොස් ද්වේශ සහගතව ශ්‍රී ලංකා හමුදාව සම්බන්ධයෙන් අසත්‍ය සාක්ෂි ලබා දී ඇති බවත් එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ එන්.ජී.ඕ උපකාර ඇතිව ඔවුන් එය කළේ හමුදාව අඩපණ කර ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීමට බවත් එය මාස්ටර් ප්ලෑන් එකක ප්‍රතිඵලයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේ ය. කරුණු සලකා බැලූ කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා දැනට බන්ධනාගාරගතව ශානි අබේසේකර, උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක , සැරයන් මෙන්ඩිස් සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යන නිලධාරීන් වගඋත්තරකරුවන් ලෙස නම් කර ලබන 13 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා නොතිසි නිකුත් කළේ ය.