5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද යි

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද යි: කල් වේලා ඇතිව විභාග මධ්‍යස්ථානයට එන්නැයි විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්

by Staff writer 11-10-2020 | 7:02 AM

COLOMBO (News 1st) - 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වේ.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2936 කදී මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිත ව ඇති අතර ඊට සිසුන් 331,694 දෙනෙක් පෙනී සිටිනු ඇති. ඒ අතර සිංහල මාධ්‍ය අයැදුම්කරුවන් 248,072 දෙනෙකු හා දෙමළ මාධ්‍ය අයැදුම්කරුවන් 83,622 ක් ද සිටි. විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙන්නේ, විභාගයට පෙනී සිටින සිසුන් උදෑසන 9.00 වනවිට විභාග ශාලාවේ අසුන් ගැනීම කළ යුතු අතරම පවත්නා වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍යරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක වන බැවින් කල් වේලා ඇතිව විභාග මධ්‍යස්ථානයට පැමිණෙන ලෙසයි. විභාගයට පෙනී සිටින දරුවන් තම විභාග අංකය ඇඳුමේ වම් පස පැළඳය යුතු බව ද විභාග කොමසාරිස්වරයා පැවසීය. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සිට කොළඹට පැමිණෙන සිසුන් වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන ක්‍රියාත්මක බවය. ගම්පහ දිස්ත්‍රික්කයේ සිට වෙනත් ප්‍රදේශවල විභාග මධ්‍යස්ථානවලදී විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන් යොමු කළ යුතු විභාග මධ්‍යස්ථාන මෙසේය. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ගනේමුල්ලේ පදිංචි සිසුන් යොමු කළ යුතු වන්නේ, ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයටයි. යක්කල, වීරගුල සහ ගම්පහ ප්‍රදේශවල පදිංචි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ගේ විභාග මධ්‍යස්ථානය ලෙස මිරිස්වත්ත කැප්පෙට්ටිපොළ මහා විද්‍යාලය යොදා ගැනේ. කිරිඳිවැල සිසුන් වෙනුවෙන් වෙන්කර ඇත්තේ, කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයයි. වැලිවේරිය මද්දුම බණ්ඩාර මහා විද්‍යාලය, වැලිවේරිය සහ මල්වතුහිරිපිටිය සිසුන් වෙනුවෙන් විභාග මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමට නියමිතය. දෙකටන පද්මාවතී මහා විද්‍යාලය වෙන්කර ඇත්තේ, දොම්පේ සහ පූගොඩ පදිංචි සිසුන් වෙනුවෙනි. නිට්ටඹුවේ සහ වේයන්ගොඩ සිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් පිට මධ්‍යස්ථානයකදී විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් වෙන් කර ඇත්තේ වේයන්ගොඩ ජනාධිපති මහා විද්‍යාලයයි. මීරිගම ඩී. එස් සේනානායක ජාතික පාසල වෙන්කර ඇත්තේ, මීරිගම සහ පල්ලේවෙල සිසුන් සඳහාය. මිනුවන්ගොඩ සිසුන් සඳහා මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලය යොදා ගැනේ. දිවුලපිටියේ පදිංචි සිසුන් වෙනුවෙන් වෙන්කර ඇත්තේ, දිවුලපිටිය ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලයයි. සීදූවේ පදිංචි සිසුන්ට සීදූව දවිසමර මහා විද්‍යාලයේදී විභාගයට පෙනී සිටිය හැකිය. ජාඇල සහ කඳාන ප්‍රදේශවල පදිංචි සිසුන් සඳහා වෙන්කර ඇත්තේ, ජාඇල ශාන්ත මරියා මහා විද්‍යාලයයි. ගම්පහ දිස්ත්‍රික්කයේ සිට වෙනත් ප්‍රදේශවල විභාග මධ්‍යස්ථානවලදී උස්ස පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන් යොමු කළ යුතු විභාග මධ්‍යස්ථාන ද නම් කර තිබේ. ඒ අනුව ගනේමුල්ලේ පදිංචි සිසුන් වෙනුවෙන් වෙන්කර ඇත්තේ, බුළුගහගොඩ ශ්‍රී විජය මහා විද්‍යාලයයි. මිරිස්වත්ත කැප්පෙට්ටිපොළ මහා විද්‍යාලයට යොමු කෙරෙන්නේ යක්කල, වීරගුල සහ ගම්පහ පදිංචි සිසුන් ය. කිරිඳිවැල පදිංචි සිසුන්ගේ විභාග මධ්‍යස්ථානය ලෙස නම් කර ඇත්තේ, කිරිඳිවැල මහා විද්‍යාලයයි. වැලිවේරිය සහ මල්වතුහිරිපිටියේ පදිංචි සිසුන් වෙනුවෙන් වැලිවේරිය මද්දුම බණ්ඩාර මහා විද්‍යාලය වෙන් කර තිබේ. දොම්පේ සියනෑ ජාතික පාසල, දොම්පේ සහ පූගොඩ පදිංචි ගම්පහ දිස්ත්‍රික්කයෙන් පිටත විභාග මධ්‍යස්ථානයකදී විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් වෙනුවෙන් වෙන් කෙරුණි. නිට්ටඹුව බෞද්ධ විද්‍යාලය වෙන්කර ඇත්තේ, නිට්ටඹුව සහ වේයන්ගොඩ පදිංචි සිසුන් වෙනුවෙනි. කල්එළිය සිරි විද්‍යාකීර්ති කනිෂ්ඨ විද්‍යාලයේදී, මීරිගම සහ පල්ලෙවෙල පදිංචි උසස් පෙළ සිසුන්ට විභාගයට පෙනී සිටිය හැකිය. මිනුවන්ගොඩ සිසුන්ට, කොටුගොඩ රාහුල මහා විද්‍යාලය වෙන්කර තිබේ. දිවුලපිටියේ සිසුන් යොමු කළ යුතු වන්නේ, දූනගහ රණසිංහ මහා විද්‍යාලයටයි. සීදූවේ සිසුන් මූකලන්ගමුව බණ්ඩාරනායක මහා විද්‍යාලයට යොමු කෙරෙනු ඇති. ජාඇල සහ කඳාන පදිංචි සිසුන් දෙහියාගාත හෝලි රොසරි විද්‍යාලයට යොමු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින නිරෝධායනයට යොමු කර සිටින සිසුන් වෙනුවෙන් ද විභාගයට පෙනී සිටීම සඳහා පහසුකම් සලසා ඇතැයි ද ඔහු පැවසුවේ ය. මේ අතර මෙවර විභාගයන්ට පෙනී සිටින සිසුන් හා ඔවුන්ගේ දෙමව්පියන් වෙනුවෙන් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල දුම්රිය හා බස් සේවා ක්‍රියාත්මක බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. විභාගයට පෙනී සිටින සිසුන්ගේ පහසුව වෙනුවෙන් සිසු සැරිය බස් රථ ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ.බී.ජී සෙනෙවිරත්න මහතා පැවසුවේ, ශිෂ්‍යත්ව විභාගයට සහභාගී වන සිසුන් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක බවය. දෙමව්පියන් ද විභාග ප්‍රවේශ පත්‍රයේ ඡායා පිටපත් ළඟ තබා ගන්නැයි ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය. ශිෂ්‍යත්ව විභාගය පවත්වා අවසන් වූ පසුවත් එම විභාගයේ ප්‍රශ්න පත්‍රය රහස්‍ය ලේඛනයක් වන බැවින් එය ළඟ තබා ගැනීම හා ප්‍රසිද්ධ කිරීම සපුරා තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය. විභාග කොමසරිස් ජනරාල් සනත් පුජිත මහතා පැවසුවේ, එම විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටපත් කිරීම හා ඡායා පිටපත් ලබා ගැනීම, ප්‍රශ්න පත්‍ර විකිණීම, මුද්‍රණය කිරීම, පුවත්පත්වල හෝ වාර සඟරාවල හෝ වෙනත් මුද්‍රිත මාධ්‍යයන්හි මුද්‍රණය කර ප්‍රසිද්ධ කිරීම, අන්තර් ජාලයේ හෝ සමාජ ජාලා වෙබ් අඩවිවල මෙන්ම වෙනත් කුමන ආකාරයකට හෝ ප්‍රසිද්ධ කිරීම ද සපුරා තහනම් වනු ඇති බවයි. කිසියම් තැනැත්තෙකු, ආයතනයක් හෝ නියෝජිතයෙක් මෙම නියෝගය යම් ආකාරයකින් කඩකිරීමක් හෝ උල්ලංඝණය කිරීමක් සිදු කළ හොත් ළඟම ඇති පොලිස්ථානය, පොලිස් මූලස්ථානය හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණීලි කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.