27 වැනිදා හදිසියේ මෙරටට එන අමෙරිකානු රාජ්‍ය ලේකම්

27 වැනිදා හදිසියේ මෙරටට එන අමෙරිකානු රාජ්‍ය ලේකම්

by Staff writer 11-10-2020 | 5:25 PM

COLOMBO (News 1st): ඉන්දීය සංචාරයක් අතරතුර කළින් සැලසුම් නොකළ සංචාරයක් ලෙස අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට පැමිණීමට නියමිත බව විදේශ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පතට වාර්තා කළේ ය.

පුවත්පත් වාර්තාවේ දැක්වෙන්නේ, මයික් පොම්පියෝ ලබන 27 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බවයි. අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පසුගිය වසරේදී මෙරටට පැමිණීමට නියමිතව තිබුණත් පසුව එම සංචාරය කල්දැමුණි. 2015 දී අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතාගේ සංචාරයෙන් පසුව ඉහළ පෙලේ අමෙරිකානු නියෝජිතයෙකුගේ සංචාරය මෙය වනු ඇති. කෙසේ වෙතත් අමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ මෙතෙක් කිසිදු නිල සංචාරයක් සම්බන්ධයෙන් තහවුරු කර නොමැති බවයි. සන්ඩේ ටයිම්ස් පුවත්පතේ වැඩිදුරටත් දැක්වෙන්නේ , අමෙරිකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට අපේක්ෂා කරන හමුදා සහයෝගීතා ගිවිසුම සම්බන්ධයෙන් නිල සංචාරයක් අතරතුර අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි. මෙම සංචාරය අතරතුර සෝෆා, ඇක්සා සහ MCC යන ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවේද යන්න සන්ඩේ ටයිම්ස් පුවත්පත ප්‍රශ්න කර තිබුණි.