රට දැය රකින යුද හමුදා විරුවන්ගේ අභිමානවත් 71 වැනි සංවත්සරය අදයි

රට දැය රකින යුද හමුදා විරුවන්ගේ අභිමානවත් 71 වැනි සංවත්සරය අදයි

රට දැය රකින යුද හමුදා විරුවන්ගේ අභිමානවත් 71 වැනි සංවත්සරය අදයි

කර්තෘ Staff writer

10 Oct, 2020 | 1:58 pm

COLOMBO ( News 1st ) : වසර 11 කට පෙර ත්‍රස්තවාදයෙන් රට මුදා ගනිමින් දිනාදුන් නිදහස මතු පරපුර උදෙසා රැකදීමේ වගකීම නොපිරිහෙලා ඉටු කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ, අදට යෙදෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ 71 වැනි සංවත්සරය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ය.

කලින් කලට පැමිණෙන විවිධ අභියෝග හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සිදුවීම් හඳුනා ගනිමින් ඒවා මර්දනය සඳහා සුදුසු ආරක්ෂක ක්‍රියාදාමය අඛණ්ඩව පවත්වාගෙන යාම හමුදා සාමාජිකයින්ගේ පරම වගකීම බව ද යුද හමුදාපතිවරයා සිහිපත් කළේ ය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ සියලු අංශ යාවත්කාලීන කිරීම සඳහා අවශ්‍ය සැලසුම් මේ වනවිටත් සකස් කර අවසන් ය.

යුද හමුදාවේ අභිමානය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා නවීන තාක්ෂණික පුහුණුවීම්, වෘත්තීය හැකියාවන් සහ දැනුම වර්ධනය කරගැනීම තවදුරටත් කළ යුතුව ඇතැයි යුද හමුදාපතිවරයා පෙන්වා දෙන්නේය.

ඔහු සඳහන් කළේ, රට තුළ වර්තමානයේ සාමකාමී සහ නිදහස් පරිසරයක් නිර්මාණය වී ඇති බව සියලු රටවැසියන් අවිවාදයෙන් පිළිගන්නා කරුණක් බවයි.

එහි සාඩම්බර කොටස්කරුවන් යුද හමුදා සාමාජිකයින් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ය.

මේ අතර අදට යෙදෙන 71 වැනි සංවත්සරය නිමිත්තෙන් හමුදා නිලධාරීන් 514 දෙනෙකුට සහ සෙසු නිලයන් 14140 කට උසස්වීම් ලබා දී තිබේ.

මේ යටතේ බ්‍රිගේඩියර්වරුන් 12 දෙනෙකු, මේජර් ජෙනරල් නිලයටත්, කර්නල්වරුන් 13 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයටත් උසස් කර තිබේ.

ලුතිනන් කර්නල්වරුන් 47 දෙනෙකු, කර්නල් නිලයට ද උසස් කර ඇතැයි යුද හමුදාව සඳහන් කළේ ය.

ඊට අමතරව මේජර්වරුන් 58 දෙනෙකු , ලුතිනන් කර්නල් නිලයට උසස් කර තිබේ.

නිදහස් ශ්‍රී ලංකාව තුළ ශ්‍රී ලංකා යුද හමුදාව ස්ථාපිත කරනු ලැබුවේ 1949 වසරේ ඔක්තෝබර් 10 වැනිදා ය.

එදා බ්‍රිගේඩියර් රොඩරික් සින්ක්ලෙයාගේ අණදීම යටතේ ශ්‍රී ලංකා යුද හමුදාවේ පළමු නිත්‍ය බලකාය ස්ථාපිත කෙරිණි.

අනතුරුව දියතලාව ප්‍රදේශයේ යුද හමුදා විද්‍යා පීඨය පිහිට වූ ඇන්ටන් මුතුකුමරු ශ්‍රී ලංකා යුද හමුදාවේ පළමු යුද හමුදාපතිවරයා බවට පත්විය.

ගෙවුණු 71 වසර තුළ යුද හමුදාපතිවරුන් 23 දෙනෙකු, ශ්‍රී ලංකා යුද හමුදාවට නායකත්වය ලබාදුන්නේ මාතෘ භූමියේ ආරක්ෂාව සහ සාමය වෙනුවෙන් දිවි හිමියෙන් සේවයට කැපවූ රෙජිමේන්තු 24 ක් යටතේදී ය.

ආරක්ෂක තර්ජන, ජාතික ව්‍යසන මෙන්ම හදිසි අවස්ථාවන්වලදී ජනවර්ග අතර සුහදතාව සහ සංහිඳියාව ප්‍රවර්ධනය කරමින් ජාතික ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව කරන්නා වූ සේවය ඉතිහාසයේ ලියැවී ඇත්තේ රන් අකුරින් ය.

මානූෂීය මෙහෙයුමේදී කුසගින්න දරා ගනිමින් සිය හිතෛෂීන්ගෙන් වෙන්ව දිවා රෑ නොතකා ඔවුන් කළ සේවය සදා අනුස්මරණීයයි.

යුද ගැටුම්වලදී දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සේම කොරෝනා වැනි වසංගත හමුවේ ජීවිත අවදානම නොතකමින් අඛණ්ඩ මෙහෙවරක නිරත වන විරෝදාර විරුවන්ට 71 වැනි යුද හමුදා සංවත්සරය දින අපි සිරස නමා උත්තමාචාර පුද කරමු!

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]