ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අඛණ්ඩව උපකාර කරන බවට චීනයෙන් සහතිකයක්

by Staff writer 09-10-2020 | 3:48 PM

COLOMBO (News 1st) -  ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්න සාර්ථක කරගැනීම සඳහා අඛණ්ඩව උපකාර කරන බවට චීනය සහතික වී තිබේ.

ඒ, දිවයිනට පැමිණි චීන සමූහාණ්ඩුවේ ඉහළ පෙළේ දූත පිරිස අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදීය. චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වය වර්ධනය කර ගැනීම චීන ජනාධිපතිවරයාගේ ප්‍රමුඛ අරමුණක් බව එම දූත පිරිසේ ප්‍රධානී චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික යං ජියෙන්චි මහතා පැවසුවේ ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු අන්තර්ජාතික වේදිකාවලදී ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් චීනය නොසැලී පෙනී සිටින බව ද ඔහු පැවසීය. පසුගිය මහ මැතිවරණයේදී අත්කර ගත් විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් චීන ජනාධිපතිවරයාගේ සුබ පැතුම් ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පුද කළේ ය. චීන විදේශ අමාත්‍යංශයේ විවිධ තනතුරු හෙබවූ යං ජියෙන්චි මහතා වසර 35 කට පෙර භාෂා පරිවර්තකයෙකු ලෙස දිවයිනට පැමිණි අයුරු ද මෙහිදී සිහිපත් කරනු ලැබුවේ ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සංවාදය ආරම්භ කළේ, චීන - ශ්‍රී ලංකා සබඳතාවල වත්මන් අවධිය ගැන සතුට පළ කරමිනි. චීනය, බලයේ සිටින ආණ්ඩු පිළිබඳ වෙනසකින් තොරව ශ්‍රී ලංකාවට උපකාර කළ දිගුකාලීන මිතුරෙක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය. ත්‍රස්තවාදය පරාජය කිරීමට චීනයෙන් ලැබුණු සහය ද ජනාධිපතිතුමා සිහිපත් කළේ ය. යුද්ධයෙන් පසුව දිවයිනේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා චීනයෙන් ලැබුණු දායකත්වය ද ජනාධිපතිතුමා එහිදී සිහිපත් කළේ කෘතවේදීවයි. චීන දූත කණ්ඩායම හමුව https://www.youtube.com/watch?v=z6Mk4qHVt6w