මිනුවන්ගොඩ ෆැක්ට්‍රියේ සේවයකයින්ට තවත් නියෝගයක්

මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සේවයකයින්ට පොලීසියෙන් තවත් නියෝගයක්

by Staff writer 07-10-2020 | 5:12 PM

COLOMBO (News 1st) - මිනුවන්ගොඩ, බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවකයින් වෙනුවෙන් පොලීසිය තව ත් නිරෝධායන නියෝගයක් නිකුත් කර තිබේ.

එම නිරෝධායන නියෝගය නිකුත් කර ඇත්තේ, වත්තල, කඳාන, ජාඇල, බියගම, කිරිබත්ගොඩ, සපුගස්කන්ද, පෑලියගොඩ, කැලණිය, කඩවත, මීගහවත්ත, රාගම සහ මහබාගේ ප්‍රදේශවල පදිංචි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවක සේවිකාවන් වෙනුවෙනි. ඒ අනුව අදාළ ප්‍රදේශවල පදිංචි සේවක සේවිකාවන් අද පස්වරු 6.00 ට පෙර තමන් නවාතැන් ගෙන සිටින ස්ථානයේ සිට පහත ස්ථානවලට පැමිණිය යුතුය. වත්තල පොලිස් බල ප්‍රදේශයේ පල්ලියපටුමග රථගාලට, කඳාන පොලිස් බල ප්‍රදේශයයේ කඳාන පොලීසිය ඉදිරිපිටට, ජාඇල පොලිස් බල ප්‍රදේශයේ ජාඇල පොලීසිය ඉදිරිපිටට, බියගම පොලිස් බල ප්‍රදේශයේ බියගම පොලීසිය ඉදිරිපිටට, කිරිබත්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ කිරිබත්ගොඩ පොලීසිය ඉදිරිපිටට, සපුගස්කන්ද පොලිස් බල ප්‍රදේශයේ සපුගස්කන්ද පොලීසිය ඉදිරිපිටට, පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශයේ ධර්මදාස ක්‍රීඩාංගණයට, කැලණිය පොලිස් බල ප්‍රදේශයේ කැලණිය පොලීසිය ඉදිරිපිට රථ ගාලට, කඩවත පොලිස් බල ප්‍රදේශයේ කඩවත අධිවේගී පාලම අසළ හිස් ඉඩමට, මීගහවත්ත පොලිස් බල ප්‍රදේශයේ උඩුපිල හන්දිය ගොවිජන සේවා මධ්‍යස්ථානය අසළට, රාගම පොලිස් බල ප්‍රදේශයේ බැසිලිකා ක්‍රීඩාංගණයට, මහබාගේ පොලිස් බල ප්‍රදේශයේ වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසළට එම සේවක සේවිකාවන් පැමිණිය යුතු ස්ථාන වේ. තව ද මෙම ආයතනයේ සේවක කරන ඉහත ප්‍රදේශවලට පරිබාහිරව වෙනත් ප්‍රදේශවල පදිංචිව හෝ නවාතැන් ගෙන සිටින අය ඇත්නම් ඔවුන් ළඟම තිබෙන පොලිස් ස්ථානය වෙත විස්තර ලබාදෙන ලෙස ද පොලීසිය දැනුම් දෙයි. පොලීසිය පැවසුවේ, මෙම පැමිණෙන අයවලුන් සම්බන්ධයෙන් නිරෝධායන කටයුතු සිදු කිරීමට නියමිත අතර ඊට පටහැනිව කටයුතු කරන අයට නිරෝධායන ආඥා පනත යටතේ ක්‍රියාකරනු ලබන බවයි. මේ අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තව ත් 190 කට කොරෝනා අසාදනය වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ය. ඒ අනුව පසුගිය දින 3 තුළ එම කර්මාන්ත ශාලාවෙන් වාර්තා වූ අසාදිතයින් සංඛ්‍යාව 1022 කි. මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 4442 ක් දක්වා ඉහළ ගොස් තිබේ.