හිටපු අගමැති රනිල් කළ අනාවරණය..

2018 ඔක්තෝබර් සිට 21 ප්‍රහාරය එල්ලවන තෙක් මාව ආරක්ෂක මණ්ඩලයට කැඳවූයේ නැහැ - හිටපු අගමැති රනිල් කොමිසමට කියයි

by Staff writer 06-10-2020 | 9:23 PM

COLOMBO (News 1st) - 2018 ඔක්තෝබර් 26 වැනි දා සිට 2019 අප්‍රේල් 21 ප්‍රහාරය එල්ල වන තෙක් කාලයේ තමා ආරක්ෂක මණ්ඩලයට කැඳවා නොතිබූ බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද අනාවරණය කර තිබේ.

හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි. අද පෙරවරු 10.15 පමණ හිටපු හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සාක්ෂි විමසීම ආරම්භ කෙරුණි. එහිදී ඔහු පැවසුවේ, 2018 වසරේ ඔක්තෝබර් 26 ආණ්ඩු පෙරළියෙන් පසුව එවක අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද ආරක්ෂක මණ්ඩල රැස්වීමට කැඳවා නොමැති බව තමා කළ විමසීමකදී සඳහන් කළ බවය. මේ අතර තමාට අගමැතිවරයාගෙන් හා කැබිනට් මණ්ඩලයෙන් සහය හිමි වුණේ මුල් මාස 6 තුළ පමණක් යැයි ඊයේ සාක්ෂි දෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය අද රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසුවේ ය. ඊට පිළිතුරු දුන් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, මෙත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළේ පොදු අපේක්ෂකයෙකු ලෙස බවයි. නමුත් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ද විරුද්ධත්වය තිබියදී මෛත්‍රීපාල සිරිසේන මහතා නිදහස් පක්ෂයේ සභාපතිත්වය භාර ගත් බව හිටපු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ය. එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරිය දේශපාලන පිළිතුරු ලබා නොදෙන ලෙස ඉල්ලා සිටිමින් විමසුවේ සිරිසේන මහතා නිර්දේශපාලනඥයෙකු ලෙස පැමිණ පසුව නිදහස් පක්ෂයේ සභාපතිවීම ඔහුට සහය නොදැක්වීමට බලපෑවා ද යන්නය. මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිදිනක වැඩි ඡන්දයක් නොතිබූ බවත් ඔහුට නිදහස් පක්ෂයේ හෝ සහයක් නොතිබූ බවත් වික්‍රමසිංහ මහතා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ ය. ඔහු පැවසුවේ, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට එවක නිරන්තරයෙන්ම තර්ජනය කළ බවයි. ආරක්ෂක මණ්ඩලය පවත්වාගෙන ගියේ ජනාධිපතිවරයාගේ උපදේශන සභාවක් ලෙස බව ද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කළේ ය. සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවන බැවින්, වැඩිදුර සාක්ෂි විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන්නැයි හිටපු අග්‍රාමාත්‍යවරයාගේ නීතිඥවරයා කළ ඉල්ලීම අනුව ලබන 13 වැනි දා පස්වරු 4.00 ට ඒ සඳහා අවස්ථාව ලබා දුන්නේ ය. රනිල් වික්‍රමසිංහ මහතා අද කොමිසමෙන් පිටව ගියේ පැය එක හමාරක පමණ කාලයක් සාක්ෂිදීමෙන් පසුවයි. https://www.facebook.com/NewsfirstSL/videos/338795580790467/