කොරෝනා පොකුර: මිනුවන්ගොඩ ෆැක්ට්‍රියෙන් නිවේදනයක්

තවමත් මූලාශ්‍රයක් නොමැති කොරෝනා පොකුර ගැන මිනුවන්ගොඩ ෆැක්ට්‍රියෙන් නිවේදනයක්

by Staff writer 06-10-2020 | 7:42 PM

COLOMBO (News 1st) - ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6.00 සිට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

මිනුවන්ගොඩ, දිවුලපිටිය හා වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට මීට පෙර පනවන ලද නිරෝධායන ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පැවසීය. ඒ අද දිනයේදී මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් තව ත් ආසාදිතයින් 605 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. අද දිනයේදී හඳුනාගත් පිරිසත් සමග අදාළ කර්මාන්ත ශාලාවෙන් කොරෝනා ආසාදිතව හඳුනාගත් මුළු සංඛ්‍යාව 706 කි. මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සියලුම සේවක සේවිකාවන් කුමන ප්‍රදේශයක මේ අවස්ථාවේ ජීවත් වුවද නිවෙස්වලින් පිටතට නොයා නිරෝධායනය වන ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කර තිබේ. සෞඛ්‍ය අංශ සඳහන් කළේ, මිනුවන්ගොඩ පොකුරෙන් මේ දක්වා හඳුනාගත් කොවිඩ් 19 අසාදිතයන් කිසිවෙකුට බරපතළ රෝග ලක්ෂණ නොමැති බවයි. මේ අතර බොහෝ ආසාදිතයින්ගෙන් කොවිඩ් රෝග ලක්ෂණ නොපෙන්වීම මෙම පරීක්ෂණ සිදු කිරීමේදී මුහුණ දුන් ප්‍රධාන අභියෝගයක් බව බ්‍රැන්ඩික්ස් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. එම නිවේදනයේ දැක්වුනේ,කෝවිඩ් ආසාදනය වූ පිරිස් සම්බන්ධව සහ නිරෝධායනයට ලක් කරන ඔවුන්ගේ සමීපතමයින් සම්බන්ධව කටයුතු කිරීමේදී අදාළ පිරිස් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කරමින් ගත හැකි සියලුම ක්‍රියා මාර්ගවලට අවතිර්ණ වී ඇති බවයි. තම සේවකයින් සමාජයට හා රටට ප්‍රමුඛත්වයක් ලබා දෙන අතර පවතින තත්ත්වය තුළ ජනාධිපති ලේකම් කාර්යාලය, ආරක්ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුද හමුදාව ලබා දෙන සහයෝගය පැසසුමට ලක්කරන බව ද බ්‍රැන්ඩික්ස් ආයතනය පැවසීය. https://www.facebook.com/NewsfirstSL/videos/3345199512242190/