කොරෝනා මඩින්න විශේෂ වැඩපිළිවෙළක්

කොරෝනා මඩින්න ගම්පහ කේන්ද්‍ර කරගත් විශේෂ වැඩපිළිවෙළක්

by Sagarika Chathumali 05-10-2020 | 5:58 PM
COLOMBO (News 1st): ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් සැලසුම් සහගත වැඩසටහනක් කඩිනමින් සකස් කර ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් දී තිබේ. අමාත්‍යවරිය මෙම උපදෙස් ලබා දී ඇත්තේ, ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පාලනයට, සහ ප්‍රතිකාර සේවාව ශක්තිමත් කිරීමට ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද පැවති විශේෂ සාකච්ඡාවකදී ය. දැනට රසායනාගාර තුළ සිදු කරන PCR පරීක්ෂණ සේවාවන් පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ද එහිදී අමාත්‍යවරිය දැනුම්දී තිබේ. සියලු දෙනා එක්ව මෙම අභියෝගය ජය ගැනීමට කටයුතු කළ යුතුව ඇති බව ද අමාත්‍යවරිය එහිදී අවධාරණය කර ඇත. දිස්ත්‍රික්කයේ පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල සෞඛ්‍ය සේවා පුළුල් කිරිම, සෞඛ්‍ය කාර්ය මණ්ඩල යෙදවීම හා ඔවුන්ගේ ආරක්ෂාව, රෝහල් බාහිර රෝගී අංශවලින් ලබාදෙන ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීම, සාම්පල පරීක්ෂාව පුළුල් කිරීම, රෝගීන් හා අනෙක් පුද්ගලයින් අතර සම්බන්ධතා සොයා ගැනීම, පුද්ගලයින් නිරෝධානය, හුදෙකලා කිරීම හා ඊට අදාළ ක්‍රමවේදයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබේ. ඊට අමතරව මෙම සාකච්ඡාවේදී පහත සඳහන් තීරණවලට ද එළැඹ තිබේ. 01. මිනුවන්ගොඩ රෝහල සහ ඉරණවිල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර සේවාවන් සැපයීම සහා යොදා ගැනීම. 02. කොවිඩ්-19 ආසාදිත බවට සැක සහිත රෝගීන් ඇතුළත් කර පරික්ෂා කිරීමට ගම්පහ රෝහල යොදා ගැනීම. 03. ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ඇඟළුම් කම්හලේ සේවක සේවිකාවන් සහ ඔවුන් ලගින් ඇසුරු කළ ආශ්‍රිතයින් මෙන්ම පාසල් දරුවන් ඇතුලුව 2000 කට ආසන්න පිරිසකගේ PCR පරීක්ෂණ කටයුතු අද දින සිදු කිරීමට කටයුතු කිරීම. 04. ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටි කර්මාන්ත ශාලාවල කාර්ය මණ්ඩල PCR පරීක්ෂාවට ලක් කිරීම. 05. ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල්වල කොවිඩ් ප්‍රතිකාර සේවා නිරීක්ෂණයට හා සවිබල ගැන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ නිලධාරි කණ්ඩායමක් යෙදවීමට පියවර ගැනීම. 06. දෛනිකව සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීම සහ එම කටයුතු සිදු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය ආරක්ෂිත ඇදුම් කට්ටල හා උපකරණ හිඟයකින් තොරව ලබාදීම. මේ අතර කිසියම් පුද්ගලයෙක් වෙත උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගී ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් පැය 24 පුරාම ක්‍රියාත්මක සුවසැරිය 1999 සෞඛ්‍ය උපදෙස් සේවාව හා සම්බන්ධවී වෛද්‍ය උපදෙස් ලබාගත හැකියි.