COLOMBO (News 1st) : අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් නැමැත්තා අත්අඩංගුවට ගන්නැයි 2019 වසරේ මුල් කාලයේදී තමා බලධාරීන්ට උපදෙස් දී තිබූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි දෙමින් ඔහු පැවසුවේ, වගකිව යුත්තන් සිය වගකීම් පැහැර හැරීම අදාළ ප්‍රහාරයට ප්‍රධානතම හේතුවක් බවයි.
හිටපු ජනාධිපතිවරයෙකු තමන් විසින්ම පත් කළ පරීක්ෂණ කොමිසමකට සහභාගී වන පළමු අවස්ථාව මෙය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කොමිසම හමුවේ කියා සිටියේ ය.
ඔහු පෙන්වා දුන්නේ, තමන් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අදාළ වෙනස්කම් ඇති කළ අතර ඒ සම්බන්ධයෙන් සතුටු වන බවයි.
ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු නිලධාරීන් සම්බන්ධ කරගනිමින් සිය පාලන කාලය තුළ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සකස් කිරීමට පියවර ගත් බවද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ය.
ඔහු පෙන්වා දුන්නේ, 19 වන සංශෝධනය හරහා ජාතික සංහිඳියා අමාත්‍යාංශයක් ඇති කර එම අමාත්‍යාංශයේ තමා යටතේ පවත්වාගෙන යාම තුළින් ද එවකට රට තුළ ආරක්ෂාව තහවුරු කිරීමටත්, සංහිඳියාව ඇති කිරීමටත් තමා පියවර ගත් බවයි.
නමුත් අග්‍රාමාත්‍යවරයාගේ සහ අමාත්‍ය මණ්ඩලය සහාය තමන් වෙත ලැබුණේ සිය රාජ්‍ය පාලන කාලයේ පළමු මාස හයේදී පමණක් බව මෛත්‍රීපාල සිරිසේන මහතා අනාවරණය කළේ ය.
ඔහු සඳහන් කළේ, අමාත්‍ය මණ්ඩල සහ අගමැතිවරයාගෙන් පූර්ණ සහයක් නොලැබීම හමුවේ ආණ්ඩුව තුළ කටයුතු කිරීමේදී විවිධ බාධා මතු වූ බවයි.
මහ බැංකු අධිපතිවරයා පත් කිරීමත්, මහ බැංකු බැදුම්කර වංචාව විමර්ශනය සඳහා කොමිසමක් පත් කිරීමත් ඊට හේතුවී තිබුණි.
රාජ්‍ය නොවන සංවිධානවල අනවශ්‍ය මැදිහත් වීම රටේ ගැටලු මතු වීමට හා ජාතීන් අතර අසමගිය ඇති කිරීමට හේතු වූ බවද හිටපු ජනාධිපතිවරයා අද කොමිසම හමුවේ සඳහන් කළේ ය.
මේ අතර 2019 අප්‍රේල් 16 වනදා විදෙස් ගතවීමට ගුවන්තොටුපොළට ගොස් සිටියදී පොලිස්පතිවරයා ගුවන්යානයටද පැමිණ ආචාර කර ගිය අවස්ථාවේදී හෝ අප්‍රේල් 14 වැනිදා අලුත් අවුරුදු දිනයේ ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා යන දෙදෙනාම තම නිවසේ පැය දෙකකට ආසන්න කාලයක් ගත කළ අවස්ථාවේදී හෝ ප්‍රහාරයක් සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් දැනුම් නොදුන් බව මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ ය.
ඔහු පැවසුවේ, තම පාලන කාලය තුළ මෙම ඛේදවාචකය සිදු වීම තමාට මහත් කම්පනයක් ගෙන දුන් බවයි.
අවම වශයෙන් එක් දුරකතන ඇමතුමක් හෝ ලබා දී මේ ගැන දැනුවත් කළේ, නම් ප්‍රහාරය නවතා ගැනීමට හැකියාව තිබූ බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
මේ අතර නිකාභය පැළඳීම තහනම් කිරීමට ජාතික ආරක්ෂක මණ්ඩලයේදී ගත් තීරණය වැළැක්වුණේ එවක අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතාගේ විරෝධය මත යැයි මෛත්‍රීපාල සිරිසෙන මහතා කොමිසම හමුවේ කියා සිටියේ ය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
මම කරපු වෙනස නිසා ඇත්තටම හිටපු ජනාධිපතිවරයෙක් විදියට කොමිෂන් සභාවකට එන්න පුළුවන්කම ලැබුණා . නැත්නම් මේ රටේ නීතියක් තිබුණේ නෑ හිටපු ජනාධිපතිවරයෙන් අධිකරණයකට හෝ කොමිෂන් සභාවකට පැමිණෙන්න හැකියාවක් තිබුණේ නෑ. විශේෂයෙන්ම මේ රට තුළ වෙච්ච බරපතල ඛේදවාචකය මගේ ජීවිතයේ මම දැඩි ලෙස වේදනාවට පත් වන දෙයක් මේ පාස්කු ප්‍රහාරය. කවුද මේකේ වගකිව යුත්තා කියන කාරණය සොයාගැනීම සඳහා ඒ කරන පරීක්ෂණවලට මගේ සම්පූර්ණ සහයෝගය දෙනවා. ඒක නිසා මේ කොමිෂන් සභාවට මගේ සාක්ෂිය ලබා දීමට මම ඉතාමත් කැමැත්තෙන් තමයි පැමිනුණේ.
මාධ්‍යවේදියා
දැන් ඉතින් වෙනස් කරන්න හදන්නේ ඇයි දැන් මේක ඔබතුමා ගෙනාපු එකනම්. එතකොට ආයේ එන්න බෑනේ නේද කෙනෙකුට.
මෛත්‍රීපාල සිරිසේන මහතා
ඒවා අපි ඉස්සරහට කතා කරමු..