කෙන්සෝ ටකාඩා කොරෝනා වැළඳී මියයයි

මෝස්තර නිර්මාණ ශිල්පි කෙන්සෝ කොරෝනා වැළඳී මියයයි

by Sagarika Chathumali 05-10-2020 | 11:42 AM
COLOMBO (News 1st) : ජපන් ජාතික මෝස්තර නිර්මාණ ශිල්පි කෙන්සෝ ටකාඩා කොරෝනා ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. ප්‍රංශ මාධ්‍ය වාර්තා පවසන්නේ, 81 හැවිරිදි කෙන්සෝ පැරීසියේ රෝහලකදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ඔහු පැරිස් විලාසිතා ක්ෂේත්‍රයේ වර්ණවත් ග්‍රැෆික් සහ මල් මුද්‍රණය සම්බන්ධයෙන් සුවිශේ ප්‍රසිද්ධියක් උසුලන නිර්මාණකරුවෙකි. කෙන්සෝගේ ප්‍රකාශකවරයා පැවසුවේ, 8000 කට අධික විලාසිතා නිර්මාණය කර ඇති කෙන්සෝ කිසි දිනෙක විලාසිතා සහ ජීවත්වීමේ කලාව සැමරීම කිසි විටෙකත් නතර නොකළ බවයි. මේ අතර කෙන්සෝගේ වියෝව සැලවීමෙන් පසු පැරිස් නගරාධිපති අන් හිඩාල්ගෝ ට්විටර් ඔස්සේ ඔහුට උපහාර දක්වමින් පවසා ඇත්තේ, පැරිස් පුතෙකුගේ වියෝව පිළිබඳ පැරිසිය ශෝකයට පත්ව සිටින බවයි. කෙන්සෝ අපරිමිත දක්ෂතා ඇති විලාසිතාකරුවෙකු බවත් ඔහු සිය නිර්මාණ තුළදී වර්ණ සහ ආලෝකයට නිසි තැන දී සිය නිර්මාණ සිදු කළ බවත් ඔහු සිය ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත. කෙන්සෝ පැරිස් විලාසිතා ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය ගත් පළමු ජපන් ජාතික නිර්මාණකරුවා ද වේ. 1939 වසරේදී ජපානයේ ඔසාකාහි උපත ලද කෙන්සෝ 1965 වසරේදී ප්‍රංශයට පැමිණ ඇත්තේ බෝට්ටුවක් මගිනි. කෙන්සෝ 1993 වසරේදී සිය විලාසිතා සන්නාමය සුඛෝපභෝගී සමාගම් සමූහයක් වෙත විකුණා වසර 6කට පසු විලාසිතාවලින් විශ්‍රාම ගියේ ය.