රිෂාඩ් සමග දේශපාලන ගනුදෙනුවක් නැහැ

රිෂාඩ් බදියුදීන් සමග කිසිදු දේශපාලන ගනුදෙනුවක් නැහැ - ජනපති

by Staff writer 04-10-2020 | 3:52 PM

COLOMBO ( News 1st ) : සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සමග කිසිදු දේශපාලන ගනුදෙනුවක් රජය ඇති කරගෙන නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයාගේ නිල ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක මේ බව දැක්වේ. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම රජයේ පළමු සහ ප්‍රධාන වගකීමක් බව අදාළ පණිවිඩයෙන් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. එය සාක්ෂාත් කිරීම සඳහා දැනටමත් නිසි පියවර ක්‍රියාත්මක කර ඇති බව මෙහි සඳහන් ය. ජනවාර්ගික, ආගමික හෝ වෙනත් කවර ආකාරයකවත් ත්‍රස්තවාදයකට හෝ අන්තාවාදයකට ඉඩ නොතබන අතර සෑම පුරවැසියෙකුටම බියෙන් සහ සැකයෙන් තොරව ජීවත්වීම සඳහා ඇති අයිතිය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කිරීමට සහතික වන බව එහි සඳහන් කර තිබේ. 2019 අප්‍රේල් මස 21වැනිදා එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයට හේතු වූයේ ආරක්ෂක කේෂ්ත්‍රයේ සිදු වූ බරපතල කඩාවැටීමත්, ත්‍රස්තවාදයට සහ අන්තවාදයට උඩගෙඩිදෙන දේශපාලන හා සමාජ පසුබිමක් ශ්‍රී ලංකාව තුළ ගොඩනැගී තිබීමත් බව මෙහි සඳහන් ය. ප්‍රහාරය ගැන ජනාධිපති කොමිසමක් මගින් පූර්ණ විභාගයක් සිදු කෙරෙමින් පවතින අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අඛණ්ඩව පරීක්ෂණ සිදු කරමින් සිටින බව ද මෙහි දැක්වෙයි. එම විභාග සහ පරීක්ෂණවලට අනතුරුව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනු ඇති බව මෙම පණිවිඩයේ සඳහන් ය. පසුගිය කාලයේ සිදුවූ ආකාරයට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හෝ අත්තනෝමතිකව නිදහස් කිරීමේ බලය දේශපාලනඥයින් අතට පත් කිරීමට සූදානම් නොමැති බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ , අදාළ බලධාරීන් හෝ නිලධාරීන් අතින් යම් අතපසුවීමක් හෝ අත්වැරැද්දක් වී ඇත්නම් ඒවා නිවැරදි කිරීමටද කටයුතු කරන බවයි. මෙතෙක් කල් ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය කිසිසේත් පළුදු වන ආකාරයට කටයුතු නොකරන අතර ඉදිරියේදී ද එම විශ්වාසය තවදුරටත් තහවුරු වන පරිදි ක්‍රියාකරන බවට ජනාධිපතිවරයා අදාළ පණිවිඩයෙන් සහතික වී තිබේ.