by Staff writer 04-10-2020 | 10:38 PM
COLOMBO (News 1st) : මීගමුව, කොච්චිකඩේ, පෝරුතොට මුහුදේ ගිලී අතුරුදන්වූ තරුණයින් තිදෙනාගේ සිරුරු අද පෙරවරුවේ සොයාගැනුණි.
තරුණයින් 7 දෙනෙකු ඊයේ පස්වරු 5.30 පමණ පෝරුතොට මුහුදේ දිය නෑමට ගොස් තිබුණි.
ඔවුන්ගෙන් තිදෙනෙකු දියේ ගිලී අතුරුදන් වූ අතර නාවික හමුදාවේ සහ පොලීසියේ කිමිදුම් කණ්ඩායම් එක්ව එම තිදෙනා සෙවීමට උත්සාහ කළත් සාර්ථක නොවූ අතර අද පෙරවරුවේ කිමිදුම්කරුවන් එම සිරුරු සොයා ගත්තේ ය.
මෙලෙස මිය ගියේ තලවකැලේ, අල්පාකන්ද වත්තේ පදිංචි 22 හැවිරිදි මුත්තුකුමාර් සිංදුජන් , 23 හැවිරිදි මනෝහරන් ශෂිකුමාර් සහ නමුණුකුල පදිංචි 20 හැවිරිදි කුගනේන්ද්‍රන් ප්‍රදීපන් ය.
ඔවුන් මීගමුව , දංකොටුවේ පාපිසි නිෂ්පාදනය කරන පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිටි පිරිසකි.
අප වාර්තාකරු පැවසුවේ, එක් තරුණයෙකුගේ උපන් දිනය සමරමින් විනෝද වීම පිණිස ඔවුන් 7 දෙනා මුහුදු තීරය වෙත ගොස් ඇති බවයි.
පිරිස දිවා ආහාරයට පෙර මුහුදේ දිය නෑමට ගොස් ඇති අතර ඉන් එක් තරුණයෙකු ගසාගෙන යද්දී ඔහු බේරා ගැනීමට ගිය අනෙක් දෙදෙනා ද දියේ ගිලී තිබුණි.
පොලීසිය පැවසුවේ තරුණ පිරිස දිය නෑමට ගිය ප්‍රදේශයේ අනතුරුදායක බව දැක්වෙන පුවරු ද සවි කර ඇති බවයි.