ඉදිරිපත් කළ සංශෝධන 20ට ඇතුළත් නොවීම ගැන කණගාටුයි

අපගේ නායකයා ඉදිරිපත් කළ සංශෝධන 20ට ඇතුළත් නොවීම ගැන කණගාටුයි - ජාතික නිදහස් පෙරමුණ අගමැතිට ලිපියක් යොමු කරමින් කියයි

by Staff writer 04-10-2020 | 9:04 AM

COLOMBO ( News 1st ) : 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී ඇතුළත් කළ යුතු සංශෝධන සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

එහි දැක්වෙන්නේ, යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් කොට ඇති නීතිපතිවරයා විසින් රජයේ යෝජනා ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලද සහ පාර්ලිමේන්තු විවාදයේ කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කිරීමට නියමිත බවට සඳහන් කළ යෝජනාවලිය තුළ ජාතික නිදහස් පෙරමුණු නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ සංශෝධන කිසිවක් අඩංගු නොවන බව කණගාටුවෙන් සඳහන් කළ යුතු බවයි. අදාළ සංශෝධන අතුරින් ප්‍රධාන කාරණා 3ක් ඉතා තීරණාත්මකව වැදගත් බවත් ඒවා පිළිබඳ ප්‍රබල මහජන විරෝධයක් ගොඩනැගී ඇති බවත් මෙම ලිපියේ සඳහන් ය. එම විරෝධය නොසළකා කටයුතු කිරීමෙන් ආණ්ඩුවේ ජනවරමේ ආධ්‍යාත්මයට සහ ආණ්ඩුවේ ප්‍රතිරූපයට බලවත් අගතියක් සිදුවන බව ඔබතුමා ද පිළිගනු ඇතැයි ජාතික නිදහස් පෙරමුණ අග්‍රාමාත්‍යවරයා වෙත සඳහන් කර තිබේ. 1 - සමාගම් රෙජිස්ට්‍රාර් යටතේ ලියාපදිංචි කොට ඇති රජයට බහුතර කොටස් හිමි සමාගම් විගණකාධිපතිවරයාගේ විගණනයෙන් නිදහස් කිරීම පළමුවැන්න ලෙස මෙම ලිපියේ දක්වා තිබේ. 2 - මහජනයාගේ දැන ගැනීම පිණිස ගැසට් කිරීමෙන් තොරව හදිසි පනත් සම්මත කිරීම දෙවැන්නයි. 3 - ද්විත්ව පුරවැසි බාධකය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඔබ්බට තානාපතිවරුන් සහ රජයේ ප්‍රධාන උසස් නිලතලවලටද පැනවීම වෙනුවට එම බාධකය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම තුන්වැනි යෝජනාව ලෙස දැක්වේ. ඒ අනුව ආණ්ඩුවක් ලෙස එම වැරදි නිවැරදි කළ යුතුව ඇතැයි ජාතික නිදහස් පෙරමුණ ලෙස අවධාරණය කරන බව ද ලිපියේ සඳහන් ය. මෙය ජනවරම ආරක්ෂා කිරීම සඳහා අප ගන්නා දේශපාලන ස්ථාවරයක් බවත් ආණ්ඩුව සමස්තයක් ලෙස එම දේශපාලන ස්ථාවරය නොසළකා කටයුතු කරන්නේ නම් එහි දේශපාලන වගකීම බාර නොගන්නා බවත් මෙම ලිපියේ වැඩිදුරටත් දැක්වේ.