වන සංහාරයට ගොදුරු වූ තිඹිරිගොල්ල රක්ෂිතය

අක්කර 9,000ක් විනාශ කර ඇති තිඹිරිගොල්ල රක්ෂිතයට අනාගතයේදී කුමක් සිදු වෙයිද?

by Staff writer 03-10-2020 | 6:48 PM

COLOMBO (News 1st) : බක්මිටියාව, තිඹිරිගොල්ල රක්ෂිතය අයත් වන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මේ රක්ෂිතය හෙක්ටයාර් 44,000ක වපසරියකින් යුක්ත වේ. මෙය රක්ෂිතයක් ලෙස ගැසට් කෙරෙන්නේ, 2010 වසරේ ඔක්තෝබර් 01වැනිදා ය. යුද ගැටුම් පැවැති කාලයෙන් පසු අවස්ථා ගණනාවකදී රක්ෂිතය හෙළි පෙහෙළි කෙරුණු බවත් මෙලෙස රක්ෂිතයට හානි පමුණු වන්නේ පිට පළාත්වලින් පැමිණෙන පිරිස් බවත් ජනතාව පැවසුවේ ය. අද වනවිට තිඹිරිගොල්ල රක්ෂිතයේ අක්කර 9,000ක් පමණ හෙළි පෙහෙළි කර අවසන් ය. මෙම රක්ෂිතයෙහි පැරණි ගල් කණු පවා දැකිය හැකි අතර එම ස්ථාන ද විනාශ කර තිබේ. ප්‍රදේශවාසීන් පවසන්නේ, පිට පළාත්වලින් පැමිණි විශාල පිරිසක් මහ වනය වනසමින් වගා කටයුතු සිදු කරන බවයි. ඔක්තෝබර් 01 වැනිදා බක්මිටියාව ග්‍රාම නිලධාරීවරයා දැනට වගාවේ නිරත පිරිස් කැඳවා තිබුණි. ඒ , රජයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත රබර් වගාව පිළිබඳව දැනුවත් කිරීම සඳහා ය. එදින ඔවුන් රබර් වගාව සඳහා ලියාපදිංචි කිරීම සිදු වූ අතර එම පිරිස් පැමිණ තිබුණේ වෙනත් පළාත්වල ලියාපදිංචි කළ වාහනවලින් ය. අඛණ්ඩව සිදුවන මේ වන සංහාරය පිළිබඳව අප මීට පෙර ද වාර්තා කළේ ය. ප්‍රදේශවාසීන් පවසන්නේ අනාගත පරපුර වෙනුවෙන් තිඹිරිගොල්ල රක්ෂිතය ආරක්ෂා කරගත යුතු බවයි.