COVID මර්දන කළාට ජාත්‍යන්තරයේ ප්‍රසාදය

COVID මර්දන කළාට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ ප්‍රසාදය

by Sagarika Chathumali 02-10-2020 | 4:29 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාව තුළ COVID - 19 වසංගතය මර්දනයට ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංවිධාන සිය ප්‍රසාදය පළ කර තිබේ. ඒ ශ්‍රී ලංකාවේ ඉදිරි සෞඛ්‍ය සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යතුමිය සමග මෙරට සිටින ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත් වූවිශේෂ සාකච්ඡාවකදී ය. මෙම සාකච්ඡාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ අන්තර්ජාතික තාක්ෂණික විශේෂඥ ජයිරෝ ඇන්ඩ්‍රස් විලාමිල්-ඩයස් , එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ප්‍රතිපත්ති විශේෂඥ සහ කණ්ඩායම් නායක ෆාදීල් බේකර් මාකර්පි යන මහත්ම මහත්මිහු එක්ව සිටියහ. මෙරට සෞඛ්‍ය සංවර්ධන කටයුතු සඳහා ඉදිරියටත් සිය සහය පළ කරන බව එම සංවිධාන නියෝජිතයින් එහිදී වැඩිදුරටත් පවසා ඇත. සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදි පවසා ඇත්තේ, මෙරට කොවිඩ් මර්දන වැඩපිළිවෙළ ඇගයිමට ලක් කිරීම පිළිබඳව සතුටට පත් වන බවත්, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන සෞඛ්‍ය සංවර්ධන වැඩසටහන් සඳහා සහයෝගය දක්වන සියලු ජාත්‍යන්තර සංවිධාන රජය වෙනුවෙන් තමන් අගය කොට සලකන බවයි. මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා ද එක්ව සිටියේ ය.