හේමසිරිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..

by Staff writer 02-10-2020 | 9:23 PM

COLOMBO (News 1st) - සිය කීර්ති නාමයට හානි වුවහොත් දෙවන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නොහැකි නිසා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු මූලික පරීක්ෂණයකින් තොරව අප්‍රේල් 21 ප්‍රහාරයෙන් දින දෙකකට පසුව තමා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රධාන චූදිතයින් බවට පත් කළ බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අද ප්‍රකාශ කර තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද නැවතත් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන්නේ ය. ඔහු කියා සිටියේ, 2019 අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයට හිටපු පොලිස්පතිවරයා සහ තමන් සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවට හිටපු ජනාධිපතිවරයා විසින් කළ ප්‍රකාශය රාජ්‍ය නායකයෙකු වශයෙන් සිදු කළ හැකි ඉතා සාහසික ප්‍රකාශයක් බවයි. හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥවරයා ප්‍රනාන්දු මහතාගෙන් හරස් ප්‍රශ්න විමසුවේ ය. එහිදී 2019 අප්‍රේල් මස 21 දින විදේශ සංචාරයකින් පසුව හිටපු ජනාධිපතිවරයා නැවත ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහු සමග කතා කිරීමට අවස්ථාවක් ලැබුණේ දැයි නීතිඥවරයා විමසුවේ ය. හේමසිරි ප්‍රන්නාද මහතා කියා සිටියේ, ජනාධිපතිවරයා ගුවන්තොටුපොළේ සිට කෙළින්ම කොළඹට පැමිණීමට පිටත් වූ නිසා ඔහු සමග කතා කිරීමට නොහැකි වූ බවයි. දුරකතනයෙන් හෝ ඔහු සම්බන්ධ කරගැනීමට නොහැකි වූ බවත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය. 2019 අප්‍රේල් 25 දින ආරක්ෂක ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වූයේ ඇයි ද යන්න විමසූ අවස්ථාවේ හේමසිරි ප්‍රනාන්දු පැවසුවේ, හිටපු ජනාධිපතිවරයා විසින් එවක පොලිස්පතිවරයාට ප්‍රහාරයේ වගකීම භාරගෙන ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබූ බවයි. එමෙන්ම ඉල්ලා අස්වන්නේ නම් කැමති ඕනෑම රටක තානාපති ධූරයක් ද ඇතුළුව තව ත් වරප්‍රසාද රැසක් ලබා දෙන බවටත් ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවේ වාර්තාවෙන් තම නම ඉවත් කිරීමට හැකි බවත් දැනුම්දුන් බව ද ප්‍රනාන්දු මහතා පැවසීය. ජනාධිපතිවරයාට බුද්ධි තොරතුරු සෘජුවම යොමු කිරීම දීර්ඝ කාලයක් තිස්සේ සිදු කළේ එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන බැවින් ප්‍රහාරයට වගකිව යුත්තේ ඔහු බව තමන් ජනාධිපතිවරයාට දැනුම් දුන් බවත් සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේ ය. මේ අතර ජාතික තව්හීද් ජමාත් නායක සහරාන් හශීම් ඇතුළු කණ්ඩායම විසින් ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කළ හැකි බවට ලැබුණු තොරතුර සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා ලෙස කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පිළිගන්නේ දැයි නීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසුවේ ය. ඊට පිළිතුරු දෙමින් හිටපු ආරක්ෂක ලේකම් පැවසුවේ, එය තමන්ට ලැබුණු දිනම එහි ඇති බරපතල බව වටහාගෙන එම තොරතුර හිටපු ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ පොලිස්පතිවරයා වෙත යොමු කිරීමට කටයුතු කළ බවයි. තමන් විසින් සිදු කළ දැනුම් දීමට අනුව හිටපු පොලිස්පතිවරයා විසින් සමහර දේවස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යෙදවීමට ද පියවර ගෙන තිබූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.