ජෝන්ස්ටන්ට එරෙහි සතොස අල්ලස් නඩුව ඉවත⁣ට

ජෝන්ස්ටන්ට එරෙහි සතොස අල්ලස් නඩුව පවත්වාගෙන යා නොහැකි බවට නිගමනයක්

by Staff writer 02-10-2020 | 5:47 PM

COLOMBO (News 1st) - අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව පවරා තිබු නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බවට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා අද නිගමනය කර තිබේ.

අල්ලස් කොමිසම නඩුව පවරා ඇත්තේ, 2010 වසරේ සිට වසර 5 ක කාලයක් සතොස සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර වෙනත් කටයුතු සඳහා යොදවා තිබුණු බවට චෝදනා කරමිනි. එවකට සමුපකාර හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ සතොස හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මොහොමඩ් මොහිදීන් පාකීර් යන තිදෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව පවරා තිබු නඩුවෙන් ඔවුන් මුදා හරින ලෙසට මහාධිකරණ විනිසුරුවරයා එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට නියෝග කළේ ය. තමන්ට එරෙහිව එම නඩුව පවරා ඇත්තේ, අල්ලස් කොමිසන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනාගේම ලිඛිත අවසරය නොමැති බවට සැකකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබුණි. එම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව සැකකරුවන් ගොනු කර තිබූ ප්‍රතිශෝධන අයැදුම්පතක් සලකා බැලු මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.