එ.ජා. මහලේකම්ගේ වාර්තාවට රජය ප්‍රතිචාර

UNHRC වෙත එ.ජා. මහ ලේකම් දුන් වාර්තාවට රජය ප්‍රතිචාර දක්වයි

by Staff writer 01-10-2020 | 9:17 PM

COLOMBO (News 1st) - ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවකට ශ්‍රී ලංකා රජය ප්‍රතිචාර දක්වා තිබේ.

ශ්‍රී ලංකාවේ සහ ජිනීවාහි වෙසෙන ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන, මානව හිමිකම් ආරක්ෂා කරන්නන් සහ වෙනත් පිරිස් රහස්‍ය විමර්ශනයන්ට ලක්කර ඇති බවට එක් වාර්තාවකින් චෝදනා කර තිබුණි. සිවිල් සමාජ සංවිධාන, මානව හිමිකම් ආරක්ෂා කරන්නන් සහ අගතියට පත්වුවන්ගේ පවුල් ඇතුළු පාර්ශව කිහිපයකින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට ඊට අදාළව අඛණ්ඩව චෝදනා ලැබී තිබූ බව ද සඳහන් විය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ සහකාර මහ ලේකම් ඉල්ස් බ්‍රෑන්ඩ්ස්,
සීමිත පරිසරයක සමහර පුද්ගලයින් සහ කණ්ඩායම් අප සමග සම්බන්ධ වෙන්නේ නෑ කියලා අපි දැනුවත්ව තිබෙනවා. වාර්තාවක දැක්වෙන පරිදි මහ කොමසාරිස්වරයා ලිබියාව, නිකරගුවාව, පිලිපීනය රුසියාව, ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ වෙනිසියුලාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ස්වයංවාරණය පිළිබඳවත් මහලේකම්වරයාගේ අවධානය යොමු වෙලා තියෙනවා.
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ වැඩබලන නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස්,
එම වාර්තාවේ සඳහන් “බිය ගැන්වීම්”,“ආවේක්ෂණය”,“හිරිහැර කිරීම් පිළිබඳ පැමිණිලි” සහ “පළිගැනීම්” සම්බන්ධයෙන්, නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට හෝ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම හෝ ජාතික පොලිස් කොමිසම වැනි ස්වාධීන ජාතික ආයතන වෙත විධිමත් ලෙස පැමිණිලි කිරීමට අදාළ පාර්ශවයන්ට ආරාධනා කිරීමට රජය අපේක්ෂා කරන අතර ඒ අනුව චූදිත සිදුවීම් පිළිබඳව විමර්ශනය කිරීමට පියවර ගත හැකියි. රජය මෙම චෝදනා දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර තිබෙන අතර අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සිවිල් සමාජ අවකාශය ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට කැපවී කටයුතු කරමින් ජනමාධ්‍යවේදීන්, මානව හිමිකම් ආරක්ෂා කරන්නන් සහ සිවිල් සමාජයට වෙත එල්ල කෙරෙන බවට චෝදනා කෙරෙන ප්‍රහාර සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පිළිබඳව විමර්ශනය කොට නඩු පවරන බවට සහතික වෙයි. විශේෂයෙන්ම පාස්කු ඉරුදින එල්ල වූ විනාශකාරී ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව, ජාතික ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක වන සාමාන්‍ය ආරක්ෂක ජාලවලට අමතරව, ආරක්ෂක හමුදා සහ බුද්ධි අංශ මෙරට නිශ්චිත පුද්ගලයින් පිරිසක් අධීක්ෂණය කිරීමේ නිරත නොවන බව ද යළි අවධාරණය කරනු ලැබේ.