ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමට රජය කැපවී සිටිනවා

ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමට රජය කැපවී සිටින බව ජනපති ලෝක ප්‍රජාව හමුවේ අවධාරණය කරයි

by Staff writer 01-10-2020 | 7:07 PM

COLOMBO (News 1st) - ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්වය පිළිබඳ සමුළුව අමතමින් අවධාරණය කර තිබේ.

මෙම සමුළුව අමතමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, වර්ථමානයේ ලොව පුරා ජෛව විවිධත්වයට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවයි. මෑත දශක කිහිපය තුළ ජෛව විවිධත්වය පිළිබඳ සම්මුති ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව දැඩි කැපවීමකින් කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. ‍ අප රට සතු ස්වභාවික සම්පත් අතරින් සිංහරාජ වනාන්තරය, කනල්ස් ඇතුළු මධ්‍ය කඳුකරය දැනටමත් ලෝක උරුම ස්වභාවික සම්පත්. ලෝක ප්‍රජාව ඉදිරියේ ජනාධිපතිවරයා මේ ස්වභාවික සම්පත් සුරක්ෂිත කිරීමට ඇති කැපවීම අවධාරණය කිරීම අගය කළ යුතු කරුණකි. මේ අවශ්‍යතාව අපි අවස්ථා ගණනාවකදීම පෙන්වාදී තිබේ. ස්වභාවික උරුමයන් වගේම සංස්කෘතික උරුමයන් අතින්ද අපි ඉතා පොහොසත් රාජ්‍යයකි. අනුරාධපුර, පොළොන්නරුව පූජා භූමි, සීගිරිය, මහනුවර පූජා භූමිය, ගාල්ල කොටුව සහ දඹුලු ලෙන් දැනටමත් ලෝක සංස්කෘතික උරුමයන් ය. සේරුවිල මංගල රජමහා විහාරය, සේරුවිල සිට මහවැලි ගග අසබඩින් ශ්‍රී පාදය දක්වා ඇති මාර්ගය, රජගල පූජා භූමිය මේ වනවිට ලෝක උරුම ලෙස පිළිගැනීම සඳහා නියමිත ලැයිස්තුවට ඇතුළත් ය. එමෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සී.එම් මද්දුම බණ්ඩාරයන් වැනි පුරෝගාමීන් අධ්‍යයනය කර පසුව ගම්මැද්ද වැවෙන් වැව මගින්ද අධ්‍යයනය කළ එල්ලංගා වැව් පද්ධතියද මේ වනවිට ලෝක ජල උරුමයකි. මෙය වැදගත් වන්නේ, මෙරට වාරි පද්ධතියට අයත් වැව් දහස් ගණනක් එල්ලංගා පද්ධතිය තුළ තිබීම නිසයි. රට තුළ වැව් ප්‍රතිසංස්කරණය කිරීමේදී එල්ලංගා පද්ධතිය ආරක්ෂා කිරීමත් එය අධ්‍යයනය කිරීමත් අතිශය වැදගත් ය. පරිසරය ආරක්ෂා කර ගැනීමට ජනාධිපතිවරයා සමග රටම පෙළගැසිය යුතු අවස්ථාවක ඇතැම් පිරිස් තවදුරටත් පරිසරයටත් ඉපැරණි උරුමයටත් හානි කරමින් සිටි. අනාගත පරපුර වෙනුවෙන් මේවා සුරක්ෂිත කර ගැනීමට දරණ උත්සාහය සමග සියලු දෙනා අත්වැල් බැඳ ගත යුතු නොවේ ද?