ලෝක ළමා දිනයට ජනපතිගෙන් සුබ පැතුම්!

භෞතික සහ මානසික දරිද්‍රතාව දුරු කළ පුරවැසියන් වාසය කරන රටක් ගොඩනැගීම ඒකායන අපේක්ෂාවයි - ජනපති

by Staff writer 01-10-2020 | 7:44 AM

COLOMBO (News 1st) - භෞතික සහ මානසික දරිද්‍රතාව දුරු කළ පුරවැසියන් වාසය කරන රටක් ගොඩනැඟීම, තම ඒකායන අපේක්ෂාව බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමිනි. රටේ අනාගත වත්කම වන දරු පරපුර දැනුමෙන් පෝෂණය කර කුසලතා වර්ධනය සඳහා අවස්ථාව දීම, ජාතියේ වගකීමක් බව ජනාධිපතිතුමා සඳහන් කළේය. දරුවන්ගේ කායික සහ මානසික පෝෂණය සේම යහ පැවැත්ම තහවුරු කිරීම, ප්‍රමුඛ කාලීන අවශ්‍යතාවකි. රටක් ජාතික හෝ ජාත්‍යන්තර සංවර්ධන නිර්නායක කොතෙක් දුරට ළඟා කර ගත්ත ද, සමාජය මානව දයාව සහිත මිනිසුන්ගෙන් තොර නම් එය පතිරූප දේශයකැයි තමා විශ්වාස කරන බව ද ජනාධිපතිතුමා පැවසුවේය. එවන් රටක් ගොඩනැගීමට ගුණ නැණ මෙන්ම ශිල්පීය වශයෙන් ද භාෂා ඥානයෙන් ද දරු පරපුර ශක්තිමත් කළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.‍ මෙවර ළමා දිනයේ තේමාව,

"අපේ රට අපේ දෑතින්"

යන්නයි. මේ වන විට ලොව පුරා සිටින ළමා ජනගහනය බිලියන 1.9 ඉක්මවයි. ශ්‍රී ලංකාවේ ළමා ජනගහනය මිලියන 4.3 කට අධිකයි.