බණ්ඩාරනායක ගුවන්තොටුපොළ ඉදිකිරීම් ගැන ජනපති උපදෙස්

බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් 2023ට පෙර නිම කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

by Staff writer 01-10-2020 | 9:49 AM

COLOMBO (News 1st) - බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් 2023 අවසන් වීමට පෙර නිම කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ, නිවේදනයක දැක්වෙන්නේ 2014 වසරේ ආරම්භ කළ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් 2017 දී අවසන් කිරීමට සැලසුම් කර තිබූ බවයි. ඉදිකිරීම් සිදු නොවීම නිසා සැලසුමේ බොහෝ අංග වර්තමානයට නොගැලපෙන බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දී තිබේ. 2023 වසරට ගැලපෙන අයුරින් සියලු තාක්ෂණික පහසුකම් සහිතව සුහුරු ගුවන් පර්යන්තයක් ( Smart Terminal) ලෙස එහි සංවර්ධන කළ යුතු බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ. ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. කොවිඩ් වසංගතයත් සමග අන්තර්ජාතික ගුවන් ගමන් අඩාලවීමෙන් ගුවන් තොටුපොළ සහ ගුවන් සේවාවන්ට බලපෑ අහිතකර තත්ත්වය හමුවේ ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි. ගුවන් තොටුපොළ කාර්යයන් අඩපණව තිබීම ප්‍රයෝජනයට ගෙන දිවා රාත්‍රී වැඩකර ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන්නැයි රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ. මත්තල ගුවන් තොටුපොළ ජනවාරි සිට මේ දක්වා ගුවන් මෙහෙයුම් 270ක් සිදු කර ඇති අතර ඉන් සේවාව ලැබූ මගීන් සංඛ්‍යාව දොළොස්දහසකට අධික වන බව එම නිවේදනයේ සදහන් වේ. ඉදිරියේ දී ශ්‍රීලංකන් ගුවන් සේවය මත්තල ගුවන් තොටුපොළේ සිට සතියකට ගුවන් වාර 07ක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති බව එහිදී අනාවරණය කෙරුණි.