මිලියනයක් ජීවිත බිලි ගත් COVID - 19

COVID මාරයා දිනෙන් දින මිනිස් ජීවිත බිලිගත් හැටි

by Sagarika Chathumali 30-09-2020 | 3:32 PM
COLOMBO (News 1st) : පසුගිය වසරේ චීනයෙන් වූහාන් නගරයෙන් ව්‍යාප්තිය ආරම්භ වූ COVID - 19 වෛසරය කිසිවෙකුත් නොසිතූ පරිදි ඉතා කෙටි කාලයක් තුළ ගෝලීය වසංගතයක් බවට පත්ව තවදුරටත් මිනිස් ජීවිත බිලි ගනිමින් සිටී. මේ වන විට COVID - 19 මාරයා බිලිගත් මිනිස් ජීවිත සංඛ්‍යාව දස ලක්ෂය පසු කර ගොසිනි. වෛරසයේ මූලාරම්භය කුමක් ද? යන්නට මෙතෙක් ලෝකයම පිළිගන්නා නිශ්චිත පැහැදිලි පිළිතුරක් නොමැති සේම වෛරසයේ අවසානය කවදාද යන්නට ද කිසිවෙකු ළඟ පිළිතුරක් නොමැත. වෛරසය සම්පූර්ණයෙන් තුරන් කිරීමට නිසි එන්නතක් සොයා ගන්නා තුරු ලෝකවාසී ජීවිත බිලි ගනිමින් වසංගතය තවදුරටත් පැතිරෙමින් යනු ඇති. ආරම්භයේ සිට අද දක්වා කොරෝනා වෛරසයට ලෝකය නතු වූ ආකාරය සහ මිනිස් ජීවිත බිලි වූ ආකරය පිළිබඳ සටහනක් පහතින්.....

චීනයෙන් වාර්තා වූ පළමු මරණය

පසුගිය වසරේ අවසන් කාලයේදී වෙනස් ආකාරයේ වෛරසයක් පිළිබඳ චීනයෙන් වාර්තා වන්නට වූ අතර ජනවාරි 11 වැනි දා චීනයෙන් පළමු කොරෝනා මරණය වාර්තා විය. චීන සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ, වෛරසය ආසාදිත 61 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ජීවිතක්ෂයට පත්වූ බවයි. පසුව චීන විශේෂඥයින් රෝගී තත්ත්වය කොරෝනා ගනයේ වෛරසයක් ලෙස හඳුනා ගත් අතර වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවට ද තොරුතුරු වාර්තා වන්නට විය. චීන වැසියන් ලහි ලහියේ අලුත් අවුරුදු උදාවට සූදානම් වූ අතර වෛරසය පිළිබඳ වැඩි අවධානයක් යොමු නොවී ය. සිතූ පරිදි අවුරුදු සමරන්නට COVID - 19 වෛරසය චීන වැසියන්ට අවස්ථාව ලබා නොදුන් අතර මෙම කාලය තුළ වෛරසය ශීඝ්‍රයෙන් පැතිරී යන්නට විය. රෝගය පැතිරෙන්නේ කෙසේ ද යන්න පිළිබඳව පැහැදිලි නොවූ අතර මුල් අවස්ථාවේ චීන සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ, මිනිසාගෙන් මිනිසාට වෛරසය බෝ වන බවට සාධක නොමැති බවයි. එහෙත් දින කිහිපයක් ඇතුළත ලෝක සෞඛ්‍ය සංවිධානය චීන දෙසට අවධානය යොමු කරමින් තත්ත්වය ඉතා සමීපව නිරික්ෂණය කරන්නට වූ අතර වෛරසය එක් අයෙකුගෙන් තවත් අයෙකුට බෝ වන බව තහවුරු විය.

COVID - 19 මරණ 100යි

පසුගිය ජනවාරි මාසය අවසන් වන විට චීනයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 100 ඉක්මවා ගිය අතර වෛරස ව්‍යාප්තිය සටහන් වූ වූහාන් නගරයෙන් පිට ද මරණ වාර්තා වන්නට විය. පසුව ලොව රටවල් 16කින් පමණ ආසාදිතයින් වාර්තා වූයේ, වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය සනිටුහන් කරමිනි. ඇතැම් රටවල් වූහාන්හි සිටින තම වැසියන් යළි ගෙන්වා ගැනීම සඳහා ගුවන් යානා පිටත් කර හැරි අතර අමෙරිකාව දැනුම් දුනනේ, අමෙරිකානුවන්ට චීනයේ සංචාරය කිරීමේදී සැලකිලිමත් විය යුතු ලෙසයි. ව්‍යාප්තියේ කේන්ද්‍රය වූ වූහාන් නගරය සහ හුබෙයි පළාත වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට ක්‍රියා කළ බලධාරීන් එහි ප්‍රවාහනයට ද සීමා පනවමින් ජනතාව නිවෙස් තුළට සීමා කිරීමට පියවර ගත්තේ ය. ඒ වන විට චීනයේ ඇතැම් නගර වැසියන්ට ද මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබිණ. වූහාන්හි සංචාරය කළ 50 හැවිරිදි පුද්ගලයෙකු වෛරස ආසාදනයෙන් මියගිය පළමු බීජිං වැසියා ලෙස වාර්තා අතරට එක්විය. එන්න එන්නම තත්ත්වය දරුණු වන්නට වූ අතර ජනවාරි 30 වනදා ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වසංගතය පැතිරීම ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කළේ ය.

COVID -19 මරණ 1000 පසු කරයි ‍

පෙබරවාරි 10 වැනි දා වන විට කොරෝනා වසංගතය බිලි ගත් ජීවිත සංඛ්‍යාව 1,000ක් වූ අතර බොහෝ රටවලින් කොරෝනා ආසාදිතයින් පිළිබඳ තොරතුරු වාර්තා වන්නට විය. ඒ වනවිටත් මුළු ලෝකයේ ම අවධානය යොමු වී තිබුණේ, වෛරස ව්‍යාප්තියේ දැඩි බලපෑමකට ලක්වෙමින් තිබූණේ චීනයටයි. ලෝකයම චීනය දෙස බලා සිටිද්දී COVID - 19 මාරයා කෙමෙන් ලෝකයේ අනෙකුත් රටවල්වලට ව්‍යාප්ත විය. රටවල් 27කින් පමණ වෛරස ආසාදිතයින් වාර්තා වූ අතර පළමු වරට පිලිපීනයෙන් සහ හොංකොං දේශයෙන් ද COVID - 19 මරණ වාර්තා වන්නට විය. පෙබරවාරි මාසයේ අවසන් භාගය වනවිට ලෝකයේ අවධානය ජපානය දෙසට යොමු වූයේ, Diamond Princess නෞකාවේ සිටි මගීන් සිය ගණනක් කොරෝනා ආසාදිතයින් බව තහවුරු වීමත් සමගයි. ජීවිතක්ෂයට පත් බ්‍රිතාන්‍ය ජාතික පළමු ‍Covid-19 ආසාදිතයා හමුවන්නේ ද මෙම නෞකාවෙනි. කොරෝනා වෛරසය ‍Covid-19 ලෙස නම් කරනු ලබන්නේ මෙම කාල සීමාවේදීයි.

කොරෝනා මරණ 10,000 පනී

මේ අතර මාර්තු මාස 10 වැනි දා වන විට ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව 10000 ඉක්මවා යන්නේ, වෛරස ව්‍යාප්තියේ අවධානය යුරෝපය දෙසට යොමු කරවමිනි. ඒ වනවිට ලෝකය පුරා වාර්තා වී තිබූ මරණ සංඛ්‍යාවෙන් අඩක්ම යුරෝපයෙන් වාර්තා වූයේ, වෛරසයේ දරුණු බව තවත් ත්‍රීව්‍ර කරමිනි. මුල් අවස්ථාවේ ඉතාලිය කොරෝනා වසංගතයේ දරුණුම ගොදුර බවට පත්වූයේ ඉතාලි වැසියන් 4000කට වැඩි පිරිසකට මරණය උරුම කර දෙමිනි. පසුව වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි සීමා පනවමින් රට වසා දැමීමට ඉතාලි බලධාරීහු ක්‍රියා කළහ. මේ වනවිට චීනයේ වෛරස ව්‍යාප්තිය කෙමෙන් අවම වන්නට වූ අතර ලෝකයේ අනෙකුත් රටවල් වෙත එය ව්‍යාප්ත වූයේ, අතිශය දරුණු ලෙසිනි. ඒ වන විට තහවුරු කර ගන්නා ලද කොරෝනා ආසාදිතයින් 250,000ක් පමණ වාර්තා වී තිබූ අතර ආසාදිතයෝ 80,000 ක් සුවය ලැබූහ. මාර්තු 24 වනවිට බ්‍රිතාන්‍යය වසා දැමීමට ආග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් තීරණය කළ අතර ඒ වනවිට එරට මරණ සංඛ්‍යාව 300 ඉක්මවා තිබිණ.

කොරෝනා මරණ ලක්ෂය පනී

අප්‍රේල් මාසයේ මුල් භාගය වන විට COVID 19 මාරයා බිලි ගත් මිනිස් ජීවිත සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගියේ, මුව ආවරණ පැළඳීම, රටවල් වසා දැමීම ඇතුළු ක්‍රියාමාර්ග අනුගමනය කරමින් බලධාරීන් දැඩි ප්‍රයත්නවල නිරතව සිටයදී ය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානුවන් 100,000 කට වෛරසයෙන් ජීවිත අහිමි වන බව පැවසුව ද ට්‍රම්ප් පරිපාලනය වෛරස පාලනය කිරීමට කඩිනමින් පියවර නොගත් බවට පසුව විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ල වන්නට විය. අප්‍රේල් මුල් භාගය වනවිට ලොව තනි තනි රටවලින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාවට වඩා වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් නිව්යෝර්ක් නරගයෙන් වාර්තා වීම තුළ අමෙරිකාවේ වෛරස ව්‍යාප්තියේ වේගය අවබෝධ කර ගත හැකි ය. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ අතර දැඩි සතාකාර ඒකකයෙන් පිටත් වූයේ, අප්‍රේල් 9 වන දා ය. බ්‍රිතාන්‍යයේ ආසාදිතයින් සංඛ්‍යාව 70,000 ක් වූ අතර ඒ වනවිට ආසාදිතයින් 9,000කට ජීවිත අහිමි වී තිබිණ.

කොරෝනා මරණ ලක්ෂ 5 පනී

ජුනි මාසය අවසන් වන විට කෝවිඩ් 19 මරණ සංඛ්‍යාව 500,000 ක් බවට පත්වූයේ, වෛරස ව්‍යාප්තියේ තරම සහ ප්‍රබලත්වය යළි යළිත් කියාපාමිනි. ඒ වන විට ලොව බොහෝ රටවල් වසා දමා තිබූ අතර සියලු දෙනා පාහේ නිවෙස් තුළ හුදකලා කරන්නට තරම් තත්ත්වයට මෙම මාරාන්තික වෛරසය ප්‍රබල වී තිබිණ. කෙසේ වෙතත් පසුව ලොව සීමා කිරීම් ලිහිල් කරමින් ක්‍රමක්‍රමයෙන් රටවල් යළි විවෘත කරමින් ජනතාවට සිය කටයුතු සඳහා ප්‍රවේශවීමට අවස්ථාව සලසා දුන්නේ, කුටුම්භයට කොටු වූ ජීවන රටාව තවදුරටත් පවත්වා ගැනීම ප්‍රායෝගික නොවු නිසා ය. මෙම කාල පරිච්ඡේදය වනවිට යුරෝපය සහ අමෙරිකාව Covid-19 වසංගතයේ අතිශය දරුණු බලපෑමට ලක්ව තිබූ අතර වෛරසය අප්‍රිකානු කලාපයට ද පැතිරෙන්නට විය. කෙසේ වෙතත් රටවල් සීමා ලිහිල් කිරීම්වලට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟත්වය පළ නොකළ අතර එහි බලධාරීන් කියා සිටියේ, වෛසර ව්‍යාප්තිය පාලනය කිරීමට රටවල් නිවැරදි ප්‍රතිපත්තීන්හි අනුගමනය කළ යුතු බවයි.

කොරෝනා මරණ ලක්ෂ 10 පනී

සැප්තැම්බර් මාසය අවසන් වන විට කොරෝනා ආසාදිතයින් මිලියනයක් ජීවිතක්ෂයට පත් වන්නේ, අමෙරිකාව, ඉන්දියාව සහ බ්‍රසීලය පිළිවෙළින් පළමු දෙවැනි හා තෙවැනි ස්ථානවල තබමිනි. මේ වනවිට වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 3 ඉක්මවා ගොස් ඇති අතර කෝටි 2 කට වැඩි ආසාදිතයින් සංඛාවක් කොරෝනා පරදා ජීවිත ජයගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ COVID - 19 තත්ත්වය

ශ්‍රී ලංකාව මේ වන විට COVID - 19 වසංගතය සාර්ථකව පාලනය කර ඇති අතර මේ වනවිට රෝගීන් වාර්තා වන්නේ, විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් අතරින් පමණි. මේ දක්වා ආසාදිතයින් 3374 දෙනෙකු මෙරටින් වාර්තාවී ඇති අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 3230කි. ලෝක ප්‍රබලයින් බිමට ඇද දමා තිබියදී වසංගත තත්ත්වය සාර්ථකව පාලනය කරමින් සාමාන්‍ය ජීවන රටාව ආරක්ෂිතව පවත්වා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ ඇතුළු පිරිස් තවදුරටත් සිදුකරන නොනිමි කැප කිරීම් නිසාවෙන් බව බොහෝ දෙනාගේ අදහසයි.   ලෝක නායකයින් පවා ලෙඩ ඇඳට ඇද දැමූ COVID - 19 වංසගතයෙන් තොරව නිදහසේ හුස්ම ගන්නට ලෝ වැසියාට හැකිවන්නේ කවදා ද? අනාවැකි කියන්නට මේ වන තෙක් කිසිවෙකුටත් හැකියාවක් නොමැත. අද වනවිට ලෝවැසි සියලු දෙන‍ාට සිදුව ඇත්තේ, COVID 19 වසංගතය සමග ජීවත් වන්නටයි.